සිරියානු රසායනික අවි වැනසීමේ සැලැස්මක්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 සැප්තැම්බර් 14 සෙනසුරාදා - 17:15 GMT

සිරියානු රසායනික අවි ආයුධ ඉවත් කොට විනාශ කර දමනු ලැබීමේ සැලසුමකට සිරියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය එකඟ වූ බව නිවේදනය කෙරිණ.

ජිනීවා නගරයේදී රුසියානු විදේශ ඇමති,සෙර්ගෙයි ලව්රෝෆ් සමඟ පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුව ප්‍රකාශයක් කළ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී,සිරියාව ඔවුන් සතු රසායනික අවි ආයුධවල සවිස්තරාත්මක ලැයිස්තුවක් සතියක් ඇතුළත ඉදිරි පත් කළ යුතු බවයි කියා සිටියේ.

එසේම ලබන නොවැම්බර් මාසය වන විට, අවි නිරීක්ෂකයන්ට සිරියානු රසායනික අවි ගබඩාවලට පිවිසීමට අවස්ථාව සැලසිය යුතු බවත්, එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා කියා සිටියි.

“2014 වසරේ මැද භාගය වන විට,සිරියාව සතු රසායනික අවි ආයුධ සහමුලින්ම විනාශ කරනු ලැබීම සැලැස්මේ ඉලක්කය වන බවයි” ජෝන් කෙරී පවසන්නේ.

රුසියානු විදේශ ඇමති සෙර්ගෙයි ලව්රොෆ් අදහස් දක්වමින්,සිරියාව ඉහත කී ඉල්ලීම් ඉටු නොකළොත්,එරටට එරෙහිව බලය පාවිච්චි කරනු ලැබීමක් ගිවිසුමෙන් අදහස් නොකෙරෙන බවයි සඳහන් කළේ.

කැරලිකරුවන්ගේ විරෝධය

සිරියාවේ බලවත්ම කැරලිකාර සංවිධානවලින් එකක් වන නිදහස් සිරියානු හමුදාවේ අණ දෙන නිලධාරී,ජනරාල් සලීම් ඉද්රිස් ( Selim Idriss) රසායනික අවි නාශක පිළිවෙලට ප්‍රතිචාරය පළ කළේ එය ප්‍රතික්‍ෂේප කරමින්.

රුසියානු -ඇමෙරිකානු සැලැස්මෙන් සිදු වෙන්නේ,ජනාධිපති අසාද්ට සිය ගණනක් ජන ඝාතනවල වගකීමෙන් පැන යාමට අවස්ථාව සැලසීමක් පමණක් යන්න,නිදහස් සිරියානු හමුදාවේ අණ දෙන නිලධාරියාගේ අදහසයි.

එහෙත් නව ප්‍රවේශයට ජාත්‍යන්තර මට්ටමින් විශාල පිළි ගැනීමක් ලැබී ඇත.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූන් සැලැස්ම විග්‍රහ කරන්නේ,පුළුල් සාම ගිවිසුමකට ප්‍රවේශ වීම සඳහා බලාපොරොත්තු තැබිය හැකි පියවරක් හැටියටයි.

මේ අතර සිරියානු ආණ්ඩුවේ හමුදා සහ කැරලිකරුවන්,ඩමස්කස් අගනුවර ප්‍රත්‍යන්ත කළාපවල දිගටම සටන් වදිමින් ඇති බවත් වාර්තා වෙයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.