ශ්‍රී ශාන්ත්ට යාවජීව ක්‍රිකට් තහනමක්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 සැප්තැම්බර් 13 සිකුරාදා - 12:59 GMT

තරඟ පාවා දීමේ චෝදනා ලැබ සිටි ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ශාන්ත කුමාරන් ශ්‍රී ශාන්ත්ට ජීවිතාන්තය සඳහා බලපැවැත්වෙන ක්‍රීඩා තහනමක් පණවන ලද බව වාර්තා වෙයි.

ඉන්දියානු ප්‍රීමියර් ලීග්(IPL)තරඟාවලියේදී තරඟ පාවාදීමේ චෝදනා වලට ලක් වූ ශ්‍රී ශාන්ත් එම චෝදනාවලට වරද කරු යයි තීන්දු කෙරුණ බවයි ,ඉන්දීය ක්‍රිකට් නිලධාරීන් පවසන්නේ.

IPL තරඟාවලියේදී ශ්‍රී ශාන්ත් සමඟ රාජස්තාන් රෝයල් පිලට ක්‍රීඩා කළ අන්කීට් චවාන් ද තරඟ පාවාදීමේ චෝදනා ලැබ සිටි අතර, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ(BCCI) දූෂණ මැඩලීමේ අංශයේ ප්‍රධානී,රවි සවානි විසින් සිදු කරන ලද පරීක්‍ෂණයේදී ක්‍රීඩකයන් දෙදෙනාම අදාළ චෝදනාවලට වැරදිකරුවන් කෙරුණ බවයි, වාර්තා කෙරුණේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය, ශ්‍රී ශාන්ත් සහ චවාන් යන ක්‍රීඩකයන් දෙදෙනාට ඔවුන්ගේ ජීවිත කාලය තුළ ක්‍රිකට් හා සම්බන්ධ කිසිදු ක්‍රීඩාවක ට සහභාගී විය නොහැකි බවයි කියා සිටින්නේ.

මුදලට තරඟ පාවාදීම

එසේම තහනමකට ලක් වූ ක්‍රීඩකයන් දෙදෙනාට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට හෝ ඊට අනුබද්ධ කිසිදු ක්‍රියාවකට සහභාගී විය නොහැකි බවයි, එම ආයතනය විසින් නිකුත් කරනු ලැබ ඇති නිවේදනයේ දැක්වෙන්නේ.

IPL තරඟාවලියේදී පන්දු යවන්නන් තිදෙනකු මුදලට තරඟ පාවාදීමේ චෝදනා ලැබ සිටි අතර, තුන් වන්නා වූ අජිත් චන්දිලාට එරෙහිව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පියවරක් ගෙන නැත.

මේ අතර ජාතික කණ්ඩායමට ඇතුළත් නොවන අමිත් සිං සහ සිද්ධාර්ත් ත්‍රිවේදිට පිළිවෙලින් අවුරුදු පහක් සහ අවුරුද්දක් වන බැගින් ක්‍රිකට් ක්‍රීඩා තහනමක් පණවන ලද බවයි වාර්තා වන්නේ.

ශාන්ත කුමාරන් ශ්‍රී ශාන්ත් ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් තරඟ විසි හතකට ද එක් දින තරඟ පනස් තුනකට ද ක්‍රීඩා කොට තිබෙනවා.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.