සිරියාවට පහර දීමේ කොන්ග්‍රස් ඡන්දය කල් යයි

  • 11 සැප්තැම්බර් 2013

සිරියාවට එරෙහිව යුදමය ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා කොන්ග්‍රස් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමේ ඡන්ද විමසීම කල් තැබීමට ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා තීන්දු කර ඇත.

සිරියාව තමන්ගේ ම රටවැසියන්ට රසායනික අවි ආයුධ යොදා ගනිමින් පහර දී ඇති බවට එල්ල වෙන චෝදනා හමුවේ, ‘ඩමස්කස්’ පාලනයට එරෙහිව පහර දීම සඳහා,රාජ්‍ය තාන්ත්‍රික පියවරක් ගනිමින් කොන්ග්‍රසයේ නිල අනුමැතිය ලබා ගැනීමයි, ජනාධිපති බරක් ඔබාමාගේ සැලසුම වී තිබුණේ.

අලුතින් හැඩ ගැසෙමින් පවතින තත්වය යටතේ ප්‍රකාශයක් කළ ජනාධිපති ඔබාමා,සිරියානු පාලනය සතු සියළු රසායනික අවි භාර දෙන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජනාධිපති අල් අසාද් වෙත ඉදිරිපත් කරනු ලැබ ඇති යෝජනාව අනුව එක්සත් ජනපදය කටයුතු කරන බවයි කියා සිටින්නේ.

එහෙත් ජනාධිපති අල් අසාද් සිය අවි ගබඩාවල ඇති සියලු රසායනික අවි ආයුධ භාර දීමට පියවර නො ගත්තොත්, එවැනි අවි පාවිච්චිය අඩාල කර දැමීමට සිරියාවට පහර දීමට පියවර ගන්නා බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කරයි.

රුසියාවේ මැදිහත්වීම

‘ඩමස්කස්’ පාලනය දිගින් දිගටම කියා සිටින්නේ , සාමාන්‍ය ජන ජීවිත සිය ගණනක් විනාශ කරමින් පසුගිය මාසයේ එල්ල කෙරුණ රසායනික අවි ප්‍රහාරය තම ක්‍රියාවක් නොවන බවයි.

එහෙත් තමන් සතු රසායනික අවි ආයුධ ඇති බව පිළිගන්නා සිරියානු ආණ්ඩුව රුසියාව විසින් යෝජනා කරනු ලැබ ඇති ආකාරයට ඒවා ජාත්‍යන්තර අධීක්ෂණය යටතේ පවත්වා ගැනීමට එකඟතාවය පළ කර ඇත.