ඇඟලුම් කම්කරුවන්ට වන්දි තීන්දු කෙරෙන සාකච්ඡා ජිනීවා නගරයේ

  • 11 සැප්තැම්බර් 2013
සිය අයිතිය ඉල්ලමින් උද්ඝෝෂණය කරන ඇඟලුම් කම්කරුවන් වීදියේ

ඇඟළුම් කර්මාන්ත අංශයේ රැකියාවන්හි නිරත කම්කරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අනතුරු වලට මුහුණ පෑමේ දී, ඔවුන්ට වන්දි ගෙවීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන සමුළුවකට ඇඟලුම් නිෂ්පාදනයේ නිරත ලෝකයේ මුල් පෙළේ සමාගම් ගණනාවක් ම සහභාගී වෙමින් ඇති බව නිවේදනය කෙරුණි.

‘ප්‍රයිමාර්ක්’ (Primark) සහ ‘සී ඇන්ඩ් ඒ’(C&A) වැනි සමාගම් ද එම සාකච්ඡාවට සහභාගී වෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

දින දෙකක් පැවැත්වෙන සමුළුව කැඳවනු ලැබ තිබෙන්නේ, ජගත් කාර්මික වෘත්තීය සමිතිය විසින්.

පසුගිය අප්‍රියෙල් මාසයේ බංග්ලාදේශ් ඇඟලුම් කම්හලක් කඩා වැටීමෙන්, එක්දහස් එක සීයකට අධික ජීවිත විනාශයක් සිදු වුණි.

පසුගිය අවුරුද්දේ ඩකා අගනුවර තවත් ඇඟලුම් කම්හලක් ගිනි ගැනීමෙන් සීයකට අධික කම්කරුවන් ජීවිතක්ෂයට පත් වූ බවක් ද වාර්තා විය.

එවැනි ඉරණමකට ගොදුරු වූ කම්කරු පවුල් වල සාමාජිකයන් ජීවත් වීමේ අරගලයකට මැදිව සිටින බවයි, වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.

ජිනීවා නගරයේ සිටින බීබීසී වාර්තාකරුවෙක් අදහස් දක්වමින්,එහි පැවැත්වෙන සාකච්ඡාවලට කොපමණ ඇඟලුම් සමාගම් සහභාගී වන්නේ ද යන්න හෝ සමාගම් විසින් කම්කරුවන් වෙනුවෙන් කොපමණ ප්‍රමාණයක් වන්දි ගෙවන්නේ ද යන්න පැහැදිලි නැති බවයි කියා සිටියේ.

‘වෝල්මාර්ට්’ සහ ‘මැන්ගෝ’ වැනි ලෝකයේ ප්‍රධානතම ඇඟලුම් සමාගම් ජිනීවා සාකච්ඡාවට සහභාගී නොවන බවත් වාර්තා වෙයි.