සිරියාව සම්බන්ධයෙන් G-20 නායකයන් අතර මතභේද

අවසාන යාවත්කාලීන කිරීම :  2013 සැප්තැම්බර් 6 සිකුරාදා - 17:33 GMT

රුසියාවේ ‘පීටර්ස්බර්ග්ස්’ නගරයේ පැවැත්වුන G -20 සමුළුවේ අවසන් අදියරේදී ,ඊට සහභාගී වෙමින් සිටින රාජ්‍ය නායකයන්,සිරියානු අර්බුදයට ප්‍රතිචාරය දැක්විය යුතු ආකාරය සම්බන්ධයෙන් මතභේද සහිත තත්වයක පසු වූ බව වාර්තාවෙයි.

සමුළුවේදී ප්‍රකාශයක් කළ ජනාධිපති බරක් ඔබාමා සිරියාව රසායනික අවි පාවිච්චි කරනු ලැබීම හෙළා දැකීමට සහ ඊට එරෙහිව දැඩි පියවරක් ගැනීමට යුරෝපය ,ආසියාව සහ මැදපෙරදිග රටවල් එකඟ වූ බවයි කියා සිටියේ.

මේ අතර රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පූතින් කියා සිටින්නේ, සිරියාවේ එල්ල කෙරුණ රසායනික අවි ප්‍රහාරය කාගේ ක්‍රියාවක් ද යන්න පැහැදිලි නැති බවයි.

සිරියාවට එරෙහිව යුදමය පියවරක් ගත යුතු බවට ජනාධිපති ඔබාමා කරන ඉල්ලීමට ප්‍රංශය,තුර්කිය,කැනඩාව සහ බ්‍රිතාන්‍යය යන රටවල නායකයන්ගේ සහයෝගය ලැබෙන බවයි, බ්‍රිතාන්‍ය ආරංචි මාර්ගවලින් පැවසෙන්නේ.

G-20 සමුළුවට සහභාගී රටවල් එකොළහක් සිරියානු රසායනික අවි ප්‍රහාරය හෙළා දැකීමට එකමුතු වූ බවක් ද වාර්තා වෙයි.

එ.ජා.සංවිධානය.

G -20 සමුළුව පැවැත්වෙද්දී ප්‍රකාශයක් කළ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බන් කි මූන්, සිරියාවට එරෙහිව යුදමය පියවරක් ගනු ලැබීමේ අදහස වැරදි ප්‍රවේශයක් යයි විග්‍රහ කරමින්,එවැනි ක්‍රියා මාර්ගයක් නිසා අත් විය හැකි ඛේදජනක ප්‍රතිවිපාක සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් ද කර තිබුණි.

මේ අතර ලිතුවේනියාවේ පැවැත්වුන යුරෝපා විදේශ ඇමති සමුළුවක දී අදහස් දැක් වූ යුරෝපා හවුලේ විදේශ ප්‍රතිපත්ති අංශයේ ප්‍රධානී,කැතරින් ඈෂ්ටන් කියා සිටියේත් සිරියානු අර්බුදයට විසඳුම, දේශපාලන ක්‍රියාමාර්ගයක් වන බවයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.