'මළවුන්ටත් අගෞරව කරන' සිරියාවේ අර්බුදය

1 සැප්තැම්බර් 2013 අවසාන වරට යාවත්කාලීන කළේ 17:23 GMT

දිරා ගිය කඩ මාල්ලකින් වසා දමන ලද මල සිරුරක්; ප්‍රහාරයෙන් විනාශ වී පිලිස්සී ගිය පාසල් ගොඩනැගිලි; පිළිස්සුම් තුවාල සහිතව වේදනාවෙන් කෑ මොර දෙන පාසල් දරුවන්.

සිරියාවේ දී මළවුන්ට පවා නිසි ගෞරවය නොලැබෙන බවයි, මේ ඝාතනයේ ස්වභාවය දුටු බීබීසී වාර්තාකරු ඉයන් පැනල් පවසන්නේ.

ප්‍රහාරයට ලක් වූ පාසල් දරුවන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරියක්
'මොනවාද ගහල තියෙන්නේ කියල තවම කියන්න අමාරුයි. බොහොම දරුණු පිළිස්සුම් තුවාල තියෙන්නේ'

දවසේ පාසල් දිනය හමාරයේ පාසලේ ක්‍රීඩා පිටියේ සෙල්ලම් කරමින් සිටි දරුවන්ටයි, මේ බෝම්බ ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ. දරුවන් දස දෙනෙකු මරා දැමූ ඒ බෝම්බය, තවත් දරුවන් විශාල පිරිසක් පුළුස්සා දැමුවේය.

මේ සතිය මුලදී විශාල පෙට්‍රෝල් බෝම්බයක් වැනි ප්‍රහාරයක් එල්ලවීමෙන් දරුවන් දස දෙනකු මරුමුවට පත් වූ පාසලට පැමිණි බීබීසී වාර්තාකරු ඉයන් පැනල් සමඟ අදහස් දැක්වූ ඇසින් දුටු සාක්ෂිකරුවෝ, එම බෝම්බ ප්‍රහාරය එල්ල වීමට ප්‍රථම ගුවන් ප්‍රහාරක යානා ඉහල අහසේ සැරිසරනු දුටු බව කියා සිටියහ.

සිද්ධිය සියැසින් දුටු පාසලේ විදුහල්පතිවරයා සමස්ත ලෝකය ඉදිරියේ පෙනී සිට තමා දුටු දේ කියන්නට බියක් දක්වයි. සිදුවූ දේ ඔහු මෙසේ විස්තර කළා.

'කිසිම තැනක ආරක්ෂාව නැහැ'

"මේක මම මගේ ජීවිතේ දැකපු භයානක ම දේ. ටෙලිවිෂන් එකෙන් වගේ දේවලින් අපි ඕන තරම් දේ දැකල තියෙනව. ඒත් මේ වගේ දෙයක් මම කවදාවත් දැකල නැහැ."

"දුක හිතෙනම දේ තමයි, මගේ ඉස්සරහම දරුවෝ පන අදිනවා දැක දැකත් කිසිම දෙයක් කරගන්න විදියක් නැති එක. මැරිච්ච මිනිස්සු, පිලිස්සුණු මිනිස්සු, පණ බේර ගන්න දුවන මිනිස්සු. එත් කොහාට දුවන්නද? කිසිම තැනක ආරක්ෂාව නැහැ. සිරියාවේ මිනිස්සුන්ගේ ඇත්ත කතාව ඒකයි."

සිරියාවේ ගැටුම පුරාම ජනතාව ගැවසී සිටි ස්ථානවලට ගුවන් ප්‍රහාර එල්ල වූ බව පවසන බීබීසී වාර්තාකරු ඉයන් පැනල්, බේකරි, රෝහල්, කඩපිල් මතු නොව පාසල් පවා එයට ඉලක්ක වූ බව පෙන්වා දෙයි.

ප්‍රහාරයට ලක් වූ පාසලේ සංචාරය කළ ඔහු පවසන්නේ, ඒ වනතුරුමත් එහි ප්‍රහාරයේ දුමාරය සහ දුගඳ පහව ගොස් නොති බූ බවයි. එහි සැබවින්ම පවතින තත්වය විස්තර කිරීම තමාට ඉතා අපහසු බවද ඔහු සඳහන් කරයි.

පළාතේ වැසියන් සියලු දෙනා ඇවිදින මල සිරුරු ලෙසිනුයි ඔහුට දක්නට ලැබුනේ. දරුවන්ට එල්ල වූ ප්‍රහාරයෙන් ලේ වැගිරුණු ගිය බවක් දකින්නට නැහැ; පෙට්රෝල් බෝම්බ වැනි ගිනි ගන්නා සුළු දියරයක් එහි අඩංගු වූ බවක් පෙනී යන අතර, වෙඩි ප්‍රහාරයක කිසිදු සලකුණක් නැහැ.

තුවාලකරුවන්ගේ සිරුරුවල බලා සිටිය නොහැකි අන්දමේ පිළිස්සුම් තුවාල.

තහනම් අවියක්

බ්‍රිතාන්‍යය මූලස්ථානය කරගත් Hand in Hand පුණ්‍යායතනයේ වෛද්‍යවරියකද එහි පැමිණ සිටියාය.

"අපිට පොඩි විරාමයක් ගන්න වුනා මොකද එතන එහෙම පිටින්ම අවුලක්. මොනවාද ගහල තියෙන්නේ කියල තවම කියන්න අමාරුයි. බොහොම දරුණු පිළිස්සුම් තුවාල තියෙන්නේ. ඒත් මේ වගේ අවුල් තත්වයක් තියෙද්දී මොකක්ද වුනේ කියල එකපාරටම කියන්න අමාරුයි."

මෙය රසායනික අවියක් නොවුනත්, එක්සත් ජාතීන් විසින් තහනම් කරන ලද අවියක්. එහෙත් සිරියාවේ අසාද් පාලනය එම සම්මුතියට අත්සන් තබා නැහැ.

ගැටුමෙන් සාමාන්‍ය වැසියන් පීඩාවට පත්වීම අසාමාන්‍ය මට්ටමට ඉහළ යමින් පවතින බව පවසන ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය, ගැටුමට කොටු වී සිටින සාමාන්‍ය වැසියන් වෙසෙන සෑම ස්ථානයකට ළඟාවීමට තමන්ට අවසර දෙන මෙන් සිරියානු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

එම ජනතාවට ආහාර, ඖෂධ සහ පානීය ජල හිඟයක් පවතින බවද රතු කුරුස සංවිධානය පවසයි.

-------------------------------------------------------------------------------

ඉයන් පැනල් ගේ වාර්තාවක් සිංහලට නඟා ඉදිරපත් කිරීම: සරෝජ් පතිරණ