'සිරියාවට පහර දිය යුතුයි'- ප්‍රංශය දැඩි ස්ථාවරයක

30 අගෝස්තු 2013 අවසාන වරට යාවත්කාලීන කළේ 12:01 GMT

'ල මොන්ද්' (Le Monde) පුවත්පතට ප්‍රකාශයක් කරන ප්‍රංශ ජනාධිපති ෆ්රාන්ෂුවා ඔලොන්ඩ්, සිරියානු බලධාරීන් තමන්ගේම ප්‍රජාවට එරෙහිව විස රසායනික අවි මගින් පසුගිය සතියේ පහර දෙනු ලැබීම සම්බන්ධයෙන් දමස්කස් පාලනයට දැඩි දඬුවම් දීම සඳහා සහයෝගය දීමේ ස්ථාවරයෙහි තමා රැඳී සිටින බව අවධාරණය කළේය.

නව හැඩගැසීම් සම්බන්ධයෙන් තමා අද ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා සමඟ සාකච්ඡා කරන බවත් ප්‍රංශ ජනාධිපති වරයා කියා සිටියි.

සිරියාවට එරෙහි ප්‍රහාරයකට හවුල් වීම ජර්මනිය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

බ්‍රිතාන්‍යය

ජර්මන් විදේශ ඇමති ගයිඩෝ වෙස්ටර්විලේ එරට පුවත්පතකට කියා තිබුනේ, තම රට සිරියාවට එරෙහි යුදමය ක්‍රියාමාර්ගයක් ගැන සිතා නැති අතරම, දැනුත් එවැන්නක් ගැන සලකා බලමින් නො සිටින බවයි.

French President Hollande
සිරියානු ආණ්ඩුවට පහර දිය යුතු බවට ප්‍රංශ ජනාධිපති දැඩි ස්ථාවරයක

සිරියාවට එරෙහිව යුදමය ප්‍රහාරයක් සඳහා අනුමැතිය පතමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුණ යෝජනාව පරාජයට පත්වීම බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් දුෂ්කර තත්වයකට පත් කරන ලද බවයි මේ අතර විශ්ලේෂකයන් පවසන්නේ.

එම පාර්ලිමේන්තු ඡන්දයේදී අගමැතිවරයා නායකත්වය දෙන කොන්සර්වේටිව් පක්ෂයේ සහ ඔහුගේ හවුල් ආණ්ඩුවේ පාර්ශ්වකරුවා වන ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සිරියාවට පහර දීමේ යෝජනාවට එරෙහිව නැගී සිටීමත් සමඟයි එම පරාජය අත් වුනේ.

පාර්ලිමේන්තුව තුළ ලද පරාජයෙන් අනතුරුව අගමැති කැමරන් කියා සිටියේ,සිරියාවට එරෙහිව යුදමය ක්‍රියාමාර්ගයකට යාම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ජනතාව අතර මනාපයක් නො වීම පාර්ලිමේන්තු තීන්දුව මගින් පැහැදිලිව පිළිබිඹු කෙරෙන බවයි.