චීන ගං දියේ දහස් ගණන් ඌරු මළකුණු

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 13 බදාදා - 15:56 GMT

ෂැන්හයි පළාතේ හුවාන්පූ (Huangpu) ගංගාවේ පාවෙමින් තිබියදී සොයාගත් ඌරන්ගේ මළ සිරුරු සංඛ්‍යාව තවත් වැඩිවෙමින් පවතින බව චීනයෙන් වාර්තා වෙයි.

ඌරු කුණප හයදහසක් පමණ ගංගාවේ පාවී යමින් තිබියදී මේ වනවිට සොයා ගෙන ඇත.

ඌරන්ගේ මළසිරුරු ගංගාවේ මුලින්ම දකින්නට ලැබුනේ ඉකුත් සතියේදීයි. ගඟ ඉස්මත්තේ වෙසෙන ගොවීන් විසින් මිය ගිය ඌරන් ගඟට දමන්නට ඇති බවත් වාර්තා මගින් ප්‍රකාශ වෙයි.

ගඟ දිගේ බඩු ප්‍රවාහනයේ යෙදෙන තොටියකු වන ෂෙන් ගුවන්ගින් පවසන්නේ තත්වය ඉතා නරක බවයි.

"ගඟේ එහා මෙහා යාමේදී නම් මළකුණු වලින් නම් අපට ප්‍රශ්නයක් නැහැ. ඒත් ප්‍රශ්නේ පළාතම ගඳ ගහන එක'" යයි ද ෂෙන් ගුවන්ගින් වැඩිදුරටත් පවසයි.

"මළකුණු වලින් නම් අපට ප්‍රශ්නයක් නැහැ. ඒත් ප්‍රශ්නේ පළාතම ගඳ ගහන එක"

හුවාන්පූ ගඟේ තොටියෙක්

ඇතැම් ඌරන්ගේ සිරුරුවල රෝගී ලක්ෂණ දක්නට ලැබුනත් වසංගත තත්වයක් නැති බවයි චීන රාජ්‍ය රුපවාහිනිය ප්‍රකාශ කළේ.

චීන නිලධාරීන් ප්‍රකාශ කරන පරිදි, හුවාන් පූ ගංගාව යාබද ශේජියන් ප්‍රාන්තයේ ගොවීන් විසින් ඌරන්ගේ මළ සිරුරු ගංගාවට දමන්නට ඇතැයි සැකයක් ද පවතී.

වයිරස් ආසාදනයක්

ගඟ ඉහත්තාවේ කිලෝ මීටර සියයකට පමණ එපිටින් පිහිටි ගොවිපොළවල විසි දහසක් තරම් ඌරන් සංඛ්‍යාවක් වයිරසයක් හේතුවෙන් මරුමුවට පත්වී ඇති බවටත් තොරතුරු ලැබෙමින් ඇත.

එම ඌරු මස් අලෙවිය වලක්වා ලීමට බලධාරීන් පියවර ගැනීම හේතුවෙන් ගොවිපල හිමියන් සිදුකර ඇත්තේ මළ කුණු ගඟට හෙළීමයි.

දැනට සිදුකොට ඇති පරීක්ෂණ වලින් හෙළිවී ඇත්තේ "සර්කොවයිරස්" නම් වයිරසයකින් ඌරන් ආසාදිත වී ඇති බවකි.

එය මිනිසුන්ට බෝ නොවන වසංගතයක් වන බවත් ප්‍රකාශ කොට ඇතත්, ඉදිමීගිය ඌරු කුණප ගඟින් ගොඩගන්නා රූපවාහිනී දර්ශන මහජනතාව තැති ගැන්වීමට හේතු වී ඇති අතර, පානීය ජලය අපත්‍ය වනු ඇතැයි අන්තර්ජාලයේ සැරිසරන්නන් බිය පළකොට ඇත.

ඌරු මළකුණු ගංගාවේ පාව නොගියේ නම් මේ සිදුවීම කිසිසේත් කලඑලියට නොඑන බව ප්‍රදේශයේ මහජනයාගේ අදහසයි.

කානු වලින් සූරා ගත් තෙල්වර්ග ආහාර පිසීමට යොදා ගැනීම හා ළදරු කිරිපිටිවලට ප්ලාස්ටික් මුසුව තිබීම වැනි විවිධ අපවාද රැසකට පසුගිය කාලය තුළ මුහුණ දීමට චීනයට සිදු විය.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.