
මාර්කෝස් බලයෙන් නෙරපා හරිනු ලැබීමෙන් වසර විසි හතකට පසුවයි වන්දි ගෙවීමේ නීතියට අත්සන් තැබුනේ
පිලිපීනයේ බලයෙන් නෙරපා හැරුන හිටපු පාලක ෆර්ඩිනන්ඩ් මාර්කෝස් පාලනය යටතේ පීඩාවට පත් ජනතාවට වන්දි ගෙවීමේ නීතියකට වත්මන් ජනාධිපති බෙනිනෝ අකිනෝ අත්සන් තැබුවේය.
මාර්කෝස් බලයෙන් නෙරපා හරිනු ලැබීමෙන් වසර විසි හතකට පසුවයි එවැනි නීතියකට අත්සන් තැබුනේ.
නව නීතියට අත්සන් තබමින් ජනාධිපති අකිනෝ කියා සිටියේ, එමගින් අතීත වැරදි නිවැරදි කෙරෙන බවයි.
ෆර්ඩිනන්ඩ් මාර්කෝස් බලයේ සිටි විසි අවුරුද්ද ඇතුළත සිදුකෙරුන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ වධ හිංසාවන්ට ගොදුරු වූ දහස් සංඛ්‍යාත ජනතාවට වන්දි ගෙවීම සඳහා, ඩොලර් විසි දෙකෝටි විසි හතර ලක්ෂයක් වෙන් කිරීමට පිලිපීන ආණ්ඩුව පියවර ගෙන තිබේ.
එම මුදල් ලැබෙන්නේ මාර්කෝස් විසින් ස්විට්සර්ලන්තයේ බැංකුවල රහසිගතව අනවසරයෙන් පවත්වා ගෙන ගිය බැංකු ගිණුම් වලින්.








