දැඩි තරඟයකින් අනතුරුව බරක් ඔබාමා යලි ජනපති පදවියට

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 7 බදාදා - 16:15 GMT
Barack Obama

බරක් ඔබාමා මෙවර පදවිය දිනාගත්තේ ඉතා දැඩි තරඟයක් තුළින්

දෙවන වතාවටත් ජනාධිපති පදවියට පත් බරක් ඔබාමා මෙවර පදවිය දිනාගත්තේ ඉතා දැඩි තරඟයක් තුළින් බවයි පෙනී යන්නේ.

ඔබාමා ලබා ඇති මහජන ඡන්ද ප්‍රමාණය දෙන ලද ඡන්දවලින් සියයට පණහක් වන අතර රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක මිට් රොම්නි සියයට හතලිස් අටක මහජන ඡන්ද ලබා ගැනීමට සමත් වී තිබේ.

ප්‍රතිවාදී අපේක්ෂක මිට් රොම්නිට වඩා බරක් ඔබාමා ලබාගෙන තිබෙන්නේ මහජන ඡන්ද විසි ලක්ෂයක් පමණ සංඛ්‍යාවක්.

ඇමෙරිකානු ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ කාර්යයේදී මහජන ඡන්ද ප්‍රමාණය තීරණාත්මක වැදගත්කමක් නොලබන අතර, එහි ඇත්තේ සංකේතාත්මක සහ දේශපාලනමය වැදගත් කමක් පමණයි.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලය

සිය ජයග්‍රහණයෙන් අනතුරුව කතා කළ ජනාධිපති බරක් ඔබාමා, අනාගතයේදී එක්සත් ජනපදය මුහුණ දෙන අභියෝග නිරාකරණය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට මිට් රොම්නි මුණ ගැසෙන බව ප්‍රකාශ කළේය.

Mitt Romney

පාවෙන ඡන්ද සහිත ප්‍රාන්තවලින් මිට් රොම්නිට දිනා ගත හැකිවුණේ උතුරු කැරොලිනා ප්‍රාන්තය පමණයි

ජනාධිපති ඔබාමාගේ ප්‍රමුඛතාවය ලැබෙන්නේ රටේ ආර්ථිකයට වන අතර, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය රිපබ්ලිකන් පක්ෂය සතු හෙයින්, ජනාධිපතිවරයාට අය-වැය සඳහා ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීමේ එකඟතාවයකට යායුතුයි.

ජනාධිපතිවරයා තෝරා පත්කර ගනු ලබන ඡන්ද පීඨයේ නියෝජිතයන්ගෙන් 303 ක් දිනා ගැනීමට ජනාධිපති ඔබාමා සමත් වූ අතර මිට් රොම්නිට හිමි වී ඇත්තේ නියෝජිතයන් 206 ක් පමණයි.

ප්ලොරිඩා ප්‍රාන්තයේ ප්‍රතිපල තවම නිවේදනය කෙරුනේ නැහැ. ෆ්ලොරිඩා ප්‍රාන්තයෙන් ජනාධිපති වරණ ඡන්ද පීඨයට නියෝජිතයන් විසි නව දෙනෙක් පත් වන අතර එම ප්‍රාන්තයෙන් බරක් ඔබාමා පරාජයට පත් වුනත් එමගින් ඔහුගේ ජයග්‍රහණයට බලපෑමක් ඇති වෙන්නේ නැහැ.

අද උදෑසන ප්‍රතිපල ප්‍රකාශයට පත් වූ වහාම පරාජය භාර ගනිමින් දුරකථනයෙන් කතා කොට තමා ජනාධිපති බරක් ඔබාමාට ශුභ පැතූ බවයි සිය ආධාර කරුවන් අමතමින්, මිට් රොම්නි කියාසිටියේ.

තවදුරටත් අදහස් දැක් වූ මිට් රොම්නි, මෙය ඇමෙරිකා එක්සත් ජනපදයට දැඩි අභියෝග සහිත කාල පරිච්ඡේදයක් වන බවත්, ජාතිය පෙරට ගෙන යාමට ජනාධිපති ඔබාමා සමත් වනු ඇති බවත් සඳහන් කළේය.

මෙම ජනාධිපතිවරණයේ ප්‍රතිපලය කෙරෙහි තදින්ම බලපෑමක් පැවැති පාවෙන ඡන්ද සහිත ප්‍රාන්තවලින් මිට් රොම්නිට දිනා ගත හැකිවුණේ උතුරු කැරොලිනා ප්‍රාන්තය පමණයි.

වැඩි තොරතුරු සඳහා

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.