ඊජිප්තු ජනපති නීතිපති ගැටුමෙන් ජනපති පසු බසියි

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 13 සෙනසුරාදා - 17:02 GMT

පදවියෙන් ඉවත්ව යන මෙන් ජනාධිපති මොහමඩ් මුර්ශි විසින් කරන ලද නියෝගයද නොතකා ඊජිප්තුවේ නීතිපති ජනරාල් අබ්දෙල් -අල්-මජීඩ් මහමුද් (Abd-al-Majid Mahmoud ) පදවියේ දිගටම රැදී සිටියි.

ජනාධිපති මුර්ෂි රජයේ නීතිපතිවරයාට එරෙහි සටන අත්හැර දමන තත්වයකට වැටී සිටින බවටයි වාර්තා වන්නේ.

ඒ බව නිවේදනය කෙරුනේ උප ජනාධිපතිවරයකු සහ නීතිපතිවරයා අතර පැවැත්වුන සාකච්ඡාවක් අවසානයේදීයි.

පදවියෙන් ඉවත්ව යන ලෙස ජනාධිපතිවරයා කළ නියෝගය නොතකා හරිමින් දැඩි ආරක්ෂක රැකවරණ මැද අදත් කාර්යාලයට ගිය නීතිපති අබ්දෙල් -අල්-මජීඩ් මහමුද් තම රාජකාරි කරමිනුයි සිටියේ.

අබ්දෙල් -අල්-මජීඩ් මහමුද් වෙනුවෙන් සහාය පළ කරන නීතිවේදීන් සහ විනිසකරුවන් පෙන්වා දෙන්නේ නීතිපතිවරයා පත් කරනු ලැබීම ජනාධිපතිවරයාට නොව ස්වාධීන අධිකරණයට පැවරෙන කාර්යයක් වන බවයි.

ජනාධිපති මුර්ෂි, නීතිපතිවරයා පදවියෙන් නෙරපීමට ඊයේ තැත් කළේ, හිටපු ජනාධිපති හොස්නි මුබාරක්ට සහයෝගය පළකළ හතළිහකට අධික පැරණි ජ්‍යෙෂ්ට නිලධාරීන් කණ්ඩායමක් මුදා හරිනු ලැබීමෙන් පසුව.

හොස්නි මුබාරක්ට එරෙහිව දියත් කෙරුන මහජන නැගිටීමේදී විරෝධතාවාදීන්ට එල්ල කෙරුන පහරදීම් මෙහෙයවීම සම්බන්ධයෙනුයි එම නිලධාරීන්ට චෝදනා නගා තිබුනේ.

චූදිත නිලධාරීන් මුදා හරිනු ලැබීමෙන් අනතුරුව ජනාධිපති මුර්ෂිගේ ආධාරකරුවන් සහ ඔහුගේ ප්‍රතිවාදීන් අතර තහ්රිර් චතුරශ්‍රයේ ඇති වූ ගැටුම්වලදී එකසිය දහ දෙනකුට අධික පිරිසකට තුවාළ සිදුවූ බවත් වාර්තා වී තිබේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.