දේශපාලන රැකවරණ තහංචි ඕස්ට්‍රේලියානු නීතියට පටහැණියි

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 5 සිකුරාදා - 16:24 GMT

ඕස්ට්‍රේලියානු මහජන ආරක්ෂණ සහ බුද්ධි ආයතනයේ නිර්දේශ මත පදනම්ව විදේශිකයන්ට එරට දේශපාලන රැකවරණ සඳහා අයැදුම් කිරීම තහනම් කළ නොහැකි යයි ඕස්ට්‍රේලියාවේ අධිකරණයක් තීන්දු කොට තිබේ.

අධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කලේ ඕස්ට්‍රේලියානු ආගමන සහ විගමන ඇමැතිවරයාගේ නියෝගයක් මහාධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ අවස්ථාවේදීය.

රටේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවට ඕස්ට්‍රේලියානු මහජන ආරක්ෂණ සහ බුද්ධි ආයතනය නිර්දේශ කරන විදේශිකයන්ට ඕස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ සඳහා ඉල්ලුම් කිරීම තහනම් කිරීමට අමාත්‍ය මට්ටමේ තීරණයක් ගෙන තිබුණි.

එම තහංචිය බල පෑ ශ්‍රී ලංකික දෙමළ ජාතිකයෙක්, තමන් ආපසු ශ්‍රී ලංකාවට පිටමන් කළහොත් එහිදී වධ හිංසාවලට ලක් විය හැකි බව පවසමින් අධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබුණි.

එහෙත් ඔහුට දේශපාලන රැකවරණ සඳහා අයැදුම් කිරීම තහනම් කිරීම නීතියට පටහැණි බවයි මහාධිකරණය තීන්දු කළේ.

මේ අනුව 2009 වසරේ දෙසැම්බර් මාසයේ සිට ඕස්ට්‍රේලියාවේ කඳවුරක රඳවා සිටින දෙමළ ජාතිකයාට එරට දේශපාලන රැකවරණ සඳහා අයැදුම් කිරීමට ඉඩ ලැබී තිබේ. ඔහු හිටපු කොටි සාමාජිකයෙක් බවයි වාර්තා වන්නේ.

නෛතික විශ්ලේෂණ අවශ්‍ය තීන්දුවක්

මෙම තීන්දුවට අනුව ඕස්ට්‍රේලියාවේ රඳවාගෙන සිටින ශ්‍රී ලංකික දෙමළ ජාතිකයන් පනහකට ආසන්න ගණනකට සහ එක සිංහල ජාතිකයෙකුට ඕස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ සඳහා අයැදුම් කිරීම සඳහා ඉඩ ලැබිය හැකි බව ඕස්ට්‍රේලියානු දෙමළ කොන්ග්‍රසයේ ප්‍රකාශක බාලවිග්නේශ්වරන් බීබීසී දෙමළ සේවයට ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් සිකුරාදා ප්‍රකාශයට පත් කළ ඉහත කී තීන්දුවට අනුව දේශපාලන රැකවරණ සඳහා අයැදුම් කළ හැක්කේ පෙත්සම්කාර ශ්‍රී ලංකික ද්‍රවිඩ ජාතිකයාට පමණක් බව ඕස්ට්‍රේලියානු නීතිපති වරයා සඳහන් කොට ඇත.

එබැවින් ඕස්ට්‍රේලියානු මහජන ආරක්ෂණ සහ බුද්ධි ආයතනයේ උපදෙස් පරිදි ඕස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ සඳහා අයැදුම් කිරීම තහනම් කර ඇති සියලු දෙනාට ඒ සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව ලැබී තිබේද යන්න තවමත් පැහැදිලි නැත.

නීති නිලධාරීන් මේ නඩු තීන්දුව තවමත් අධ්‍යයනය කරමින් ඇතැයි පැවසූ දෙමළ කොන්ග්‍රසයේ ප්‍රකාශකයා ඕස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ පතන්නන්ට එය බලපාන අන්දම ලබන සතිය වනවිට තවදුරටත් පැහැදිලි වෙනු ඇතැයිද කියා සිටියේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.