මිහිමත වඩාත් ඝෝෂාකාරී දිවයින ජැමෙයිකාවද?

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 30 ඉරිදා - 14:06 GMT

මිහිමත වඩාත් ඝෝෂාකාරී දිවයින ජැමෙයිකාවද?

ජැමෙයිකාවේ සංගීතය පමණට වඩා ඝෝෂාකාරී යයි තීරණය කළ බලධාරීන් සංගීත ප්‍රචාරයට එරෙහිව පනවා තිබෙන දීප ව්‍යාප්ත ඇඳිරි නීතියට එරෙහිව ජන මතයක් ගොඩ නැගෙමින් පවතී. මේ සංගීත සම්ප්‍රදාය ගොඩනැගුනේ කෙසේද?

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබා අඩ සියවසක් ගෙවෙන ජැමෙයිකාවේ ජන ජීවිතය පිලිබඳ වැඩ සටහන් මාලාවක් නිපදවීමට බී බී සීය වෙනුවෙන් එහි ගිය කොලින් ග්රාන්ට්, කිංග්ස්ටන් අගනුවර වටා ටැක්සියකින් ගමන් කරද්දී ඔහු ලද අත් දැකීම වූයේ කුලී රථයේ ගුවන් විදුලි යන්ත්‍රයේ හඬ ඉහළටම නංවා සංගීත නාදය දෝරේ ගලා යමින් තිබුන අන්දමයි.

ලෝකයේ බොහෝ රටවල අග නාගරික ප්‍රදේශවල වෙසෙන්නකුගේ කණේ ලූ හෙඩ්පෝනයක හඬ මදක් වැඩි වුවහොත් අසල සිටින්නවුන් ඔරවනු දැකිය හැකිවුවත් ජැමෙයිකාවේ කිසිවකු තමන්ගේ කණට පමණක් ඇසෙන සේ සංගීතය රස විඳින්නේ නැති බවයි කොලින් ග්රාන්ට් පවසන්නේ.

මිහිමත වඩාත් ඝෝෂාකාරී දිවයිනයි මේ. අඩුම වශයෙන් පාන්දර දෙක දක්වා. නින්ද බිඳුණු සංචාරකයන් බොහෝ දෙනෙක් ඒ පිළිබඳව පැමිණිලි කිරීමෙන් අනතුරුව රජය විසින් පාන්දර යාමයේ ප්‍රසිද්ධියේ සංගීතය විසුරුවා හැරීම වළක්වාලන නීති පනවනු ලැබිණ . විශේෂයෙන්ම සංචාරක නිකේතන අවට.

සංගීත ඇඳිරි නීතිය

ජැමෙයිකා පාලකයන් රට තුළ සංගීතයට තහංචි පනවන්නට වීරිය දැරූ පළමු වතාව මෙය නොවේ. වසර ගණනාවක් තිස්සේම විජිත වාදී පාලකයන් වතු යායවල වහල්කාරකමේ යොදවා සිටියවුන් ගේ බෙර නද එදා මුළුමනින්ම තහනම් කරනු ලැබුවේ එමගින් කැරලි ගැසීම සඳහා රහසිගත පණිවුඩ යැවෙතැයි බියෙන්. එහෙත් පෙට්ටි, මලු හා ආසන ලෙසින් හැඩ ගන්වා සිය බෙර සඟවා තබා ගන්නට සමත්වූ වහල් ජනයා වතු හිමියා අහක බලාගත් සැණින් තම කැරලි කාරී භේරි නාදය පතුරුවන්නට සමත් වූහ. කෙසේ වෙතත් යටත් විජිත පාලනය විසින් දුහුවිල්ලේ ලා තිබූ ජැමෙයිකානුවන් අතුරින් ම බිහිවූ 'කෞන්ට් ඔෂී'(Count Ossie ) බෙර වාදන වෘන්දයට 1962 පටන් නිදහස් ජැමෙයිකාවේ නිල උත්සව වලට දිගටම ඇරයුම් ලැබිණ.

සංගීතය ඒ වනවිට ජැමෙයිකානු සංස්කෘතියේත් සමාජයේත් මුල් බැසගත් අංගයක් බවට පත්වී තිබීම සුවිශේෂී කරුණකි . නිදහසින් පසු පැවැති සෑම මැතිවරණයක්ම ජනතාව වෙත කැඳවාගෙන එනු ලැබුයේ සංගීතය සමගින්. ඒ වෙනුවෙන්ම රචිත ඩෙරික් මෝර්ගන්ගේ(Derrick Morgan) ෆෝර්වර්ඩ් මාර්ච් (Forward March) හෙවත් 'පෙරටම යමු' මෙන්ම කල්ලි අතර ගැටුම් හා වැඩ වර්ජන විසින් සිවිල් යුද්ධයේ මුව විටට රට ඇද දමනු ලැබූ හැත්තෑවේ දශකයේ ගැයුණු අපේක්ෂාව දැල්වුණු ගීතයක් වන ඩෙල්රෝයි විල්සන්ගේ (Delroy Wilson) 'බෙටර් මස්ට් කම්' (Better Must Come) හෙවත් 'දිනෙක යහපත උදාවනු ඇත' ඒ අතර ජනප්‍රිය ගී.

බොබ් මාලේ

ජැමෙයිකානු සංගීතඥයන් කළේ ඉතිහාස කථා වාර්තා කිරීම පමණක් නොවේ. ලෝක ප්‍රකට සංගීත වේදී බොබ් මාලේ ගේ නායකත්වයෙන් පිහිටැවුණු 'ද වේලර්ස්' (The Wailers') රෙගේ සම්ප්‍රධායේ සංගීත කණ්ඩායම විසින් 1963 දී ප්‍රචලිත කරන ලද 'සිමර් ඩවුන්' (Simmer Down)ගීතය සන්නද්ධව සිය ජනප්‍රජාව බිය වද්දමින් සිටි කල්ලිකාර තරුණයන්ගෙන් ඉල්ලා සිටියේ අවි බිම තබන ලෙස. මෑතදී 'බීනී මෑන්'(Beenie Man) සංගීතඥයා කළේ එවැනි ඉල්ලීමක්. 'ජීවත් වුවොත් තුවක්කුවෙන්, මරණය නියතයි ඒ විලසින්,' යන්නයි ඔහුගේ අනතුරු ඇඟවීම.

ජැමෙයිකානු දුගී ජනතාවට සංගීතය යනු දරිද්‍රතාවෙන් හා මුඩුක්කුවෙන් ගැලවී පිටව යාමේ මාර්ගයක්. සැබවින් නොහැකිවුවත් හදවතින් හෝ. බොබ් මාලේ 1973 දී ගැයූ එක ගීයකින් කියැවෙන්නේ මේ අදහසයි. 'සංගීතේ ඇති එක හොඳක් නම්, ඇඟේ වැදුණු විට රිදෙන්නෙ නැති එක'.

බොබ් මාලේ 1981 දී මිය ගියේ සංගීත ක්ෂේත්‍රයේ මෙන්ම දේශපාලනයේද රික්තයක් ඇති කරමින්. ඔහුගේ මූලිකත්වයෙන් 1978 දී වේදිකා ගත කැරුණු එකම ප්‍රේමයක් හෙවත් 'වන් ලව්' (One Love )සාම ප්‍රසංගයෙන් අනතුරුව සටන් විරාමයකට එළැඹි සන්නද්ධ දේශපාලන කණ්ඩායම් තුන් වසරක් ඇවෑමෙන් යළිත් ආයුධ අතට ගනු දක්නට ලැබුණි.බොබ් මාලේ තරම් ජනහද ග්‍රහණයට ගන්නට සමත් ගායකයෙක් හෝ ගායිකාවක් එදා පටන් අද දක්වා බිහිවී නැත . ජන සංගීත විඥානයෙන් එකම ප්‍රේමයක් සඳහා වූ හැඟීම ඉවත ලා නව සංගීත වේදීන් විසින් තෝරාගෙන ඇත්තේ ලිංගිකත්වය හා ප්‍රචණ්ඩත්වය පිලිබඳ තේමාවන්ය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.