පොලීසිය මිනිසුන්ට වධ හිංසා පැමිණවීම මුලිනුපුටා දැමීමේ සාකච්ඡා

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ජූලි 21 සෙනසුරාදා - 17:50 GMT

පොලිස් සහ බන්ධනාගාර නිලධාරීන් පුහුණු කිරීමට වඩා ආයතනවල මුල් බැසගෙන ඇති හිංසනය දුරලීම සඳහා ක්‍රියාමාර්ග ගත යුතු බව ජාත්‍යන්තර පර්යේෂකයෝ පෙන්වා දෙති.

පොලීසිය විසින් මිනිසුන්ට වධ හිංසා පැමිණවීම, සහ කෲර හා අමානුෂික ලෙස සැලකීම මුලිනුපුටා දැමීම සඳහා සාකච්චා කිරීමේ ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සමුළුවක් හොං කොං හී කවුලුන් නගරයේ දී අද ආරම්භවිය.

සමාරම්භක දේශනය පැවැත්වූ ඩෙන්මාර්කයේ හිංසන විරෝධී පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ, ආචාර්ය ජාන් ඔලේ හජන්සන් කියා සිටියේ පොලිස් සහ බන්ධනාගාර නිලධාරින් හට මානව හිමිකම් නීති සහ අනුගමනය කල යුතු ප්‍රමිතීන් පිළිබඳව පුහුණුව ලබා දුන්නත් එයින් ඇති කර දෙන ප්‍රථිපලය ඉතාමත්ම අල්ප බවයි.

හිංසනය එම ස්ථානවල දැඩි ලෙස ආයතන ගතවී ඇති බව පැවසූ ඔහු වධ බන්ධන පැමිණවීම වැළැක්වීමට නම් ඊට වඩා ක්‍රියා මාර්ග හදුන්වා දීමට අවශ්‍යව ඇති බවත් තවදුරටත් ප්‍රකාශ කළේය.

සමුළුවට සහභාගිවන එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රී එරන් වික්‍රමරත්න සංදේශයට පැවසුවේ දියුණු ක්‍රම තිබෙන රටවල වධ දී පාපොච්චාරණ ලබාගැනීම සිදු නොකෙරන බවයි.

එම රටවල ජනතාව විසින් වධ දීම යන්න ප්‍රතික්ෂේප කොට තිබීම ඊට හේතුව යයි ඔහු ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ පොලීසියේ සහ බන්ධනාගාර නිලධාරීන්ට පුහුණුව ලබාදීම පමණක් ප්‍රමාණවත් නොවන බව පැවසූ ඔහු අධිකරණය ස්වාධීන විය යුතු බවත් පැවසීය.

මෙමසමුළුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වධහිංසා සහ කෲර සහ අමානුෂික සැලකිලි පිළිබඳ වූ ප්‍රඥප්තිය ( UNCAT ) එම රටවලදී වඩාත් ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ඉතා වැදගත් ඉදිරි පියවරක් වනු ඇති බවයි මෙම සමුළුව සංවිධානය කරනු ලබන වධ හිංසාවට සහ කෲර සහ අමානුෂික සැලකිලිවලට එරෙහි ආසියානු සන්ධානය ( AAATI ) ප්‍රකාශ කළේ.

බංගලාදේශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, නේපාලය, පකිස්තානය, පිලිපීනය සහ ශ්‍රී ලංකාව යන රටවල පාර්ලිමේන්තු මන්ත්රීවරු මෙම සමුළුවට සහභාගී වෙති. දකුණු ආසියාවේ සහ ගිනිකොන දිග ආසියානු රටවල මානව හිමිකම් ක්‍රියාධරයින් රැසක්ද ඊට එක්ව සිටිති.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.