ප්‍රංශ ජනපතිවරණයෙන් හොලන්ඩ් ජයගනී

අවසාන යාවත්කාලීන කිරීම :  2012 මැයි 7 සඳුදා - 11:12 GMT
ප්‍රන්ශුවා හොලන්ඩ්

රටේ අධ්‍යාපනය නඟාසිටුවීමට වහාම පියවර ගන්නා බව ප්‍රන්ශුවා හොලන්ඩ් පවසයි

ඊයේ පැවැත්වුණු ප්‍රංශ ජනාධිපතිවරණයේ දෙවැනි වටයේ ඡන්ද විමසීමෙන් ජයගත් ප්‍රන්ශුවා හොලන්ඩ් ලබන මැයි 15 වැනිදා නව පදවියේ දිවුරුම් දෙන බව නිවේදනය කෙරින.

දෙවැනි වටයේදී 52% කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් දිනාගත් සමාජවාදී පක්ෂයේ අපේක්ෂක හොලන්ඩ් සහ ඡන්දයෙන් පරාජය වූ ජනාධිපති නිකොලස් සර්කෝසිගේ නිළධාරීන් අතර පැවති සාකච්ඡාවලින් අනතුරුවයි, එම තීන්දුවට එළැඹී තිබෙන්නේ.

මැතිවරණයෙන් පරාජය වූ නිකොලස් සර්කෝසි 1981න් පසුව දෙවැනි වතාවටත් ධුරය ආරක්ෂාකරගැනීමට අපොහොසත් වූ පළමු ප්‍රංශ ජනාධිපතිවරයායි.

යුරෝ මුදල් ඒකකය භාවිත කරන රටවල රාජ්‍ය වියදම් කප්පාදුව පිළිබඳව අනෙක් යුරෝපීය නායකයන් සමඟ යලි සාකච්ඡා කිරීම තමන්ගේ මුල්ම කාර්යයන් අතරට එක්වන බව, ප්‍රන්ශුවා හොලන්ඩ් ප්‍රකාශ කළේය.

මැතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව තුලේ නගරයේදී ආධාරකරුවන් ඇමැතූ ඔහු, රටේ අධ්‍යාපනය නඟාසිටුවීම සඳහා වහාම පියවර ගන්නා බවට ප්‍රතිඥාවක්ද දුන්නේය.

යලි සාකච්ඡා කරන්නේ නෑ

යුරෝ කලාපය සහ ප්‍රංශය මුහුණදී සිටින ඉහල ණය බර සහ විරැකියාව පිලිබඳ ගැටළු විසඳීම පිණිස ආර්ථික වර්ධනයට ප්‍රමුඛත්වය දිය යුතු බව ඔහුගේ මතයයි.

යුරෝ කලාපයේ මුල්‍ය අර්බුදය සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සමාලෝචනයකට ලක්කර කලාපයේ ආර්ථිකය වර්ධනය වන අන්දමේ ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තුවන බව නව ජනාධිපතිවරයා පවසයි.

ප්‍රංශ ජනාධිපතිවරණ ප්‍රතිඵලය පිළිබඳව සිය ප්‍රතිචාරය පළ කරන ජර්මනියේ චාන්සලර් ඇන්ගෙලා මර්කල්, යුරෝ මුදල ව්‍යවහාර කරන රටවල රාජ්‍ය වියදම් කප්පාදු කිරීම සම්බන්ධයෙන් දැනට ඇතිකරගෙන තිබෙන එකඟත්වය යලි සාකච්ඡාවට බඳුන් නොකරන බව ප්‍රකාශ කළාය.

යුරෝපා සංගමයේ සාමාජික රටවල් විසිපහේ රාජ්‍ය වියදම් සීමාකිරීම සම්බන්ධ සම්මුතිය පිළිබඳව යලි සාකච්ඡා කළ යුතු බව ප්‍රංශ ජනපතිවරණයෙන් ජයගත් ප්‍රන්ශුවා හොලන්ඩ් ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි, ජර්මානු චාන්සලර්වරිය එම අදහස් පළකළේ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.