ලන්ඩන් ඔලිම්පික් ඇඳුම් ශ්‍රී ලංකාවේ ශ්‍රමය සූරා කන බවට චෝදනා

අවසාන යාවත්කාලීන කිරීම :  2012 මැයි 6 ඉරිදා - 17:24 GMT
ලන්ඩනයේ ඔලිම්පික් ක්‍රීඩාංගනය

ලන්ඩන් ඔලිම්පික් තරඟාවලිය සඳහා බ්‍රිතාන්‍ය කණ්ඩායම වෙනුවෙන් නිර්මාණය කර ඇති, නෙක්ස්ට් වෙළද සැලේ අලෙවි කරන නිල ක්‍රීඩා ඇඳුම් ශ්‍රී ලංකාවේ ඉතා අඩු වැටුප් ලබාදෙමින් ශ්‍රමය සූරාකන ඇගලුම් කර්මාන්ත ශාලාවක් තුල නිමවා ඇතැයි ලන්ඩනයේ ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත වාර්තා කරයි.

ඔලිම්පික් නාමය යොදාගනිමින් භාණ්ඩ සපයන ආයතන පිළිබඳ ප්ලේ ෆෙයා 2012 (Playfair 2012) සංවිධානය කළ පුළුල් විමර්ශනයකදී මෙම තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බව කියා සිටින එම පුවත්පත මේ නිසා ලන්ඩන් ඔලිම්පික් උළෙලේ කිර්ති නාමය පළුදු වී ඇතයි ප්‍රකාශ කරයි.

මේ හෙළිදරව්ව සිදු කෙරුනේ බ්‍රිතාන්‍යයේ නෙක්ස්ට් ඇගලුම් වෙළදසල ඔලිම්පික් නිල ක්‍රීඩා ඇදුම් විකිණීම අරඹා දින කිහිපයකට පසුවයි.

දිනකට පැය 12 ක් පමණ වැඩ කරන එම සමාගමට අයත් ශ්‍රී ලංකාවේ පිහිටි ඇගලුම් කම්හලේ සේවකයන්ගේ මාසික වැටුප රුපියල් 12 000 පමණ වන බවද මෙම විමර්ශනයේදී අනාවරනය වී ඇත. ඔවුන්ට ඉතා දිගු සේවා මුර සිදු කරන ලෙසට සහ මසකට අති කාල පැය 60 කට වඩා වැඩ කල යුතු බවට, සමාගම බල කරන බව ද එහි සේවකයන් විමර්ශකයන්ට ප්‍රකාශ කර තිබෙන බව පුවත් පත් වාර්තාවේ සඳහන් වෙයි.

නෙක්ස්ට් සමාගමට අයත් ශ්‍රී ලංකාවේ පිහිටි ඇඟලුම් කම්හලේ සේවකයන් 2500 ක් පමණ සේවය කරන අතර 2012 ඔලිම්පික් උළෙල සඳහා කබා, කොට කලිසම් සහ ටි ෂර්ට් මසන්නේ එම කම්හලෙයි.

ඔලිම්පික් උළෙල සඳහා භාණ්ඩ නිපදවන ලොව පුර පිහිටි කර්මාන්ත ශාලා අටක් සේවකයන්ගේ මානව හිම්කම් විශාල ලෙස උල්ලංඝනය කරන බව මෙම විමර්ශනයෙදී ප්ලේ ෆෙයා 2012 සංවිධානය විසින් අනාවරණය කරගෙන ඇති තවත් කරුණකි.

චෝදනා ප්‍රතික්ෂේප කරන නෙක්ස්ට් වෙළද සමගම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පුවත්පත වාර්තා කරයි.

මෙම චෝදනා වල කිසිදු පදනමක් නැතැයි සංදේශයට අදහස් පළ කළ ශ්‍රී ලංකා ඒකාබද්ධ ඇඟලුම් සමාගම් සංසදයේ ප්‍රකාශකයෙක් කියා සිටියේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.