රතුපස්වල ජනතාව නැවතත් කම්හල ඉදිරිපිටට

අවසාන යාවත්කාලීන කිරීම :  2014 අගෝස්තු 30 සෙනසුරාදා - 17:22 GMT

වැලිවේරියේ ජනතාව රතුපස්වල කම්හල ඉදිරිපිටට නැවතත් එක් රැස් වූයේ ආගමික කටයුත්තකට බවයි ඒ පිළිබඳව සංදේශයේ එස් එල් සෙනෙහෙධීර සමග කතාකළ. සියනෑ ජලය සුරකීමේ සංවිධානයේ උප සභාපති උපාලි ගනේපොල ප්‍රකාශ කර සිටියේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ රතුපස්වල පැවතී කම්හලක් ඉවත් කරන්නැයිප්‍රදේශයේ ජනතාව උද්ඝෝෂණය කළේ පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී ය.

තිදෙනෙකුට මාරු කැඳවූ දිගු කලක් පැවති මහජන විරෝධතා හා ඉල්ලීම් මත එම කම්හල අදාළ ස්ථානයෙන් ඉවත්කළ බවයි පසුව වාර්තා වූයේ.

මෙවර වසා දමන ලද කම්හල ඉදිරිපිට ජනතා එකතුව සිදුවූයේ ආගමික කටයුත්තකට බව සනාථ කල උපාලි ගනේපොල සඳහන් කළේ එය උද්ඝෝෂණයේදී මිය ගිය තිදෙනා වෙනුවෙන් යුතුකමක් ඉටුකිරීමක් බවයි.

“කම්හලේ අපද්‍රව්‍ය නියමාකාරයෙන් පොලවට මුදා හැරීම සිදුනොවුණු නිසා ජලය අපවිත්‍ර වීමක් සිදුවුණා. ඒ නිසා මිනිස්සු පසුගිය අවුරුද්දේ උද්ඝෝෂණයක් කළා කම්හල ඉවත් කිරීම සම්බන්ධව. අපි ඒ සටන ගෙනියන කොට පුද්ගලයන් තුන් දෙනෙක් වෙඩි තැබීමෙන් මරණයට පත්වුණා. ඒ වගේම විශාල පිරිසක් තුවාල ලැබුවා.ඒ අයට නිරෝගී සුවය පතල ආශීර්වාද කිරීමත්, ඒ වගේම මියගිය තුන් දෙනා සිහිපත් කරලා ඒ අයට පිං පැමිණවීමේ යුතුකමක් අපට තියනව. අපේ අරමුණ වුණේ ඒක” යනුවෙන් කම්හල ඉදිරිපිට පැවති ආගමික කටයුත්තේ අරමුණ ප්‍රකාශ කළේය.

එම කටයුත්ත කම්හල ඉදිරිපිට දී කිරීම යම් ආකාරයක විරෝධය පළ කිරීමක් දැයි විමසූ විට ඔහු කියා සිටියේ ජනාධිපති වරයාගේ සහ ආරක්ෂක ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් දැන් කම්හල ඉවත් කර ගෙන ගොස් ඇති නිසා ඔවුන්ට කම්හලට විරෝධය පෑමේ අවශ්‍යතාවයක් නැති බවයි.

උද්ඝෝෂණ තුලින් ඔවුන් බලාපොරොත්තු වූ මුලික අරමුණ වූ කම්හල ඉවත් කර ගැනීමේ අභිප්‍රාය සාක්ෂාත් කර ගත් බව ප්‍රකාශ කළ සියනෑ ජලය සුරැකීමේ සංවිධානයේ උප සභාපතිවරයා දැනට පානීය ජලය අඩු මුදලට ලබාගැනීමේ කටයුත්ත ද සාර්ථකව කෙරෙමින් පවතින බව ද ප්‍රකාශ කළේය.

තම සංවිධානය පරිසරය සුරැකීමේ සංවිධානයක් ලෙස දිගටම කටයුතු කරන බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.