නාමල් සමග රහසේ සාකච්චා කළේ නැහැ - හරීන්

30 අගෝස්තු 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 17:25 GMT

පසුගිය බ්‍රහස්පතින්දා සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමික බුද්ධදාස ගේ නිවසේදී තමන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී නාමල් රාජපක්ෂ සමග කිසිදු රහස් සාකච්ඡාවක් නොපැවැත්වූ බව මහ ඇමති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු සංදේශයට ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂයෙන් ඌව පළාත්සභාවට තරඟ වදින හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සමග රහස් සාකච්චාවක් පැවැත්වූ බවත් එය හරීන් ප්‍රනාන්දු එක්සත් ජනතා සන්ධානයට එක්වීමේ මුලික සාකච්ඡාවක් බවටත් පැතිර ගිය පුවතකින් ශ්‍රී ලංකාවේ දේශපාලන පුවත් ලෝකය උණුසුම් කරනු ලැබ තිබේ.

එහෙත් එය අහඹු හමුවීමක් මිස රහස් සාකච්ඡාවක් නොවන බවයි හරීන් ප්‍රනාන්දු පවසන්නේ.

'රහස්හමුවීමක් නොවෙයි'

“කිසිම සාකච්චාවක් නෙමෙයි. මොකද නාමල් රාජපක්ෂත් මමත් එකට රගර් ක්‍රීඩා කරලා තියනව,අපි පාර්ලිමේන්තුවේ හොඳ හිතවත්තු, නමුත් මම විශාල වශයෙන් රාජපක්ෂ ආණ්ඩුව විවේචනය කරන පුද්ගලයෙක්. එහෙම කියල අපේ මිත්‍රත්වය පිළිබඳව ගැටලුවක් තිබිල නැහැ” යනුවෙන් පැවසූ හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ ඌව පරණගම පැවති මැතිවරණ රැස්වීමකට යන අතර තේ කෝප්පයක් බීම සඳහා නාමල් රාජපක්ෂගෙන් තමන්ට ඇරැයුමක් ලැබුණු බවයි.

අනාගත ඌව පළාත් මහ ඇමති ලෙස තමාට නාමල් මන්ත්‍රීවරයා සුභ පැතු බවද ඔහු සඳහන් කළ හරීන් ප්‍රනාන්දු මාධ්‍යය මගින් මෙම අහඹු හමුවීම සදාචාරාත්මක නොවන ආකාරයෙන් වාර්තාකර ඇති බවයි ප්‍රකාශ කළේ.

'එජාපය හැර යන්නේ නැහැ'

අනාගතයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් වන්නේ දැයි ඇසු විට ඔහු කියා සිටියේ එසේ කිරීමට වඩා දේශපාලනයෙන් සමු ගැනීමට ඔහු සුදානම් බවයි.

එසේම, ඌව පළාතේ මහා ඇමැති ලෙස පත්වුවද නොවුවද තමා සැමදා එක්සත් ජාතික පක්ෂය සමග සිටින බවයි ඔහු අවධාරණය කළේ.