පන්දු යවන්නන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක්

අවසාන යාවත්කාලීන කිරීම :  2014 අගෝස්තු 29 සිකුරාදා - 17:59 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

දේශීය හා පාසල් මට්ටමේ ඉරියව් සැක සහිත පන්දු යවන්නන් හඳුනා ගෙන ඔවුන් නිවැරදි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරමින් සිටියි.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

පන්දු යවන්නන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක්

00:03:39

අවුරුදු විසි තුනෙන් පහළ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ දී පන්දු යවන්නන් විස්සකට අධික පිරිසකගේ පන්දු යැවීමේ ඉරියව් සැක සහිත බවට විනිසුරුවන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.

පන්දු යැවීමේ ඉරියව් සැක සහිත ක්‍රීඩකයන් හඳුනා ගෙන ඔවුන්ගේ ඉරියව් නිවැරදි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෙන ඇති පියවරකට අනුවයි එම හඳුනා ගැනීම සිදු කර තිබෙන්නේ.

පන්දු යවන්නන් ගේ සැක සහිත ඉරියව් සම්බන්ධයෙන් දැඩි ලෙස කටයුතු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ දිනවල කටයුතු කරමින් සිටියි.

ශ්‍රී ලංකාවේ සචිත්‍ර සේනානායකගේ මෙන්ම ලෝකයේ අංක එකේ දඟ පන්දු යවන්නෙකු ලෙස සැලකෙන සයිඩ් අජ්මාල්ගේද පන්දු යැවීමේ ඉරියව් සැක සහිත බවට මේ වන විට පැමිණිලි ඉදිරිපත්ව ඇත.

දැඩි අවධානය

ජාත්‍යන්තරයෙන් යොමු වී තිබෙන දැඩි අවධානය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දේශීය හා පාසල් මට්ටමෙත් ඉරියව් සැක සහිත පන්දු යවන්නන් හඳුනා ගෙන ඔවුන් නිවැරදි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විනිසුරු ටී එච් විජේවර්ධන පවසයි.

"අපි බලාපොරොත්තු වෙනවා ලංකාවේ පාසැල් හා අන්තර් සමාජ මට්ටමෙන් මේ වැරදි ඉරියව් ඉක්මනට නැති කරන්න. මේක අවුරුදු දෙක තුනක වැඩසටහනක්," යනුවෙන් ඔහු පැවසීය.

පාසල් මට්ටමේ ද පන්දු යවන්නන් මෙලෙස නීති විරෝධී ඉරියව්වලින් පන්දු යවන බවට වාර්තා වී ඇති බව පවසන විනිසුරු විජේවර්ධන කියා සිටියේ ප්‍රථම අවදියේදීම ඔවුන්ව නිවැරදි කිරීම වැදගත් බවයි.

මේ පිළිබඳව විනිසුරුවරයන් මෙන්ම රට පුරා සිටින ක්‍රිකට් පුහුණුකරුවන් ද දැනුවත් කරමින් සිටින බවයි විනිසුරු විජේවර්ධන පැවසුවේ.

සචිත්‍රගේ බලාපොරොත්තුව

මේ අතර පන්දුව දමා ගැසීම නිසා තරඟ තහනමකට ලක්ව සිටින ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන ක්‍රීඩක සචිත්‍ර සේනානායක ඔස්ට්‍රේලියාවේ දී සිය පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කර ගැනීම සඳහා පුහුණු සැසියකට සහභාගි වී පසු ගිය සතියේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඉදිරියේ දී සචිත්‍රට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පරීක්ෂණයකට මුහුණ දීමට සිදු වන අතර එහිදී තම නව පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බව සහතික කරවා ගත යුතු බවයි වාර්තා වෙන්නේ.

එම පරීක්ෂණය සමත්වී නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේදී එංගලන්ත කණ්ඩායමත් සමග තරඟ වැදීම සචිත්‍රගේ බලාපොරොත්තුවයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.