උතුරේ ආයෝජන කලාපවලින් 'වාසිය දකුණට'

  • 29 අගෝස්තු 2014

රජය විසින් උතුරේ ව්‍යාපාරිකයින් වෙනුවෙන් ආයෝජන කලාප ඇති කරණ නමුත් ඉන් උතුරේ වැසියන්ට වඩා ප්‍රතිඵල අත් කර ගන්නේ දකුණේ ව්‍යාපාරිකයින් බවට යාපනයේ වෙළඳ සංගම් ප්‍රධානීන් රජයට චෝදනා කරයි.

පසුගිය විසි හත් වෙනිදා යාපනයේ ආච්චුවේලි පලාතේ ප්‍රථම වතාවට උතුරේ ව්‍යාපාරිකයින් වෙනුවෙන් ආයෝජන කලාපයක් විවෘත කිරීමෙන් පසුවයි ඔවුන් එම චෝදනාව ඉදිරිපත් කළේ.

නව ආයෝජන කලාපය විවෘත කරනු ලැබුවේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසිනි.

යාපනයේ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති එස් ජයසේකරන් කියා සිටියේ යාපනය මහනුවර ඒ-9 මාර්ගය විවෘත වූ දා සිට දකුණේ ව්‍යාපාරිකයින් තම නිෂ්පාදන උතුරට ගෙන ගොස් වෙළඳාම් කිරීමට පටන් ගැනීමත් ඊට රජයෙන් පූර්ණ අනුග්‍රහය ලැබීමත් නිසා උතුරේ කර්මාන්තකරුවන් හා නිෂ්පාදකයින් දැඩි අසාධාරණයකට මුහුණ දී සිටින බවයි.

රජයට චෝදනා

යාපනයේ ව්‍යාපාරික ක්ෂේත්‍රය බිඳ වැටීමේ ප්‍රතිඵලයක් වශයෙන් සිය ව්‍යාපාර පවත්වා ගැනීමට නොහැකිව යාපනයේ ව්‍යාපාරිකයින් පහළොස් දෙනෙකු ගත් වූ වසර දෙක ඇතුළත සිය දිවි හානි කර ගෙන ඇති බව ව්‍යාපාරික නායකයෙකු කියා සිටියේය.

උතුරේ පවත්වා ගෙන ගිය ලුණු ලේවායන්, කර්මාන්තශාලා යුද්ධය හේතුවෙන් විනාශයට පත්වූ නමුත් ඒවා යළි ස්ථාපිත කිරීමට පියවර නොගැනීම යාපනයේ ව්‍යාපාරිකයින් විසින් රජයට නගන තවත් චෝදනාවක්.

නමුත් රජයේ විශේෂ ව්‍යාපෘති පිළිබඳ අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන පවසුවේ දකුණේ ව්‍යාපාරිකයන්ගෙන් උතුරේ ව්‍යාපාරිකයන්ට කිසිදු අසාධාරණයක් සිදු නොවූ බවයි.

යුද සමයේ දී උතුර අතහැර කොළඹට ගිය ව්‍යාපාරිකයන්ට සිය ව්‍යාපාර උතුරු පලාත තුල යළි ආරම්භ කිරීමට පරිසරය සකස් කොට දීම පිණිස රජය මෙවැනි ආයෝජන කලාප පිහිටු වන බව අමාත්‍යවරයා තව දුරටත් පැවසීය.

යුද්ධය හේතුවෙන් විනාශ වී ගිය උතුරු පලාතේ පිහිටි සෑම කර්මාන්ත ශාලාවක් ම යළි ආරම්භ කිරීමට රජය පියවර ගෙන ඇති අතර කන්කසන්තුරේ සිමෙන්ති කම්හල වැනි කර්මාන්ත ශාලා දැනටමත් ආරම්භ කොට ඇති බවද ඔහු පැවසීය.