අලුත්ගම: නියෝජ්‍ය පොලිස්පතිගේ 'ජීවිතය අනතුරේ'

29 අගෝස්තු 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 14:10 GMT

අලුත්ගම ගැටුම් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් 13 දෙනකු නිදහස් කරන්නැයි එල්ල වූ බලපෑම් ප්‍රතික්ෂේප කළ නියෝජ්‍ය පොලිස්පති වී ඉන්ද්‍රන්ට බරපතල තර්ජන එල්ල වී ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් බීබීසී සංදේශයට අනාවරණය වේ.

අලුත්ගම, බේරුවල සහ දර්ගා නගරයේ පැතිර ගිය ගැටුම්වලින් අනතුරුව අලුත්ගම සහ බේරුවල කොට්ඨාශ භාරව කටයුතු කිරීමෙන් නියෝජ්‍ය පොලිස්පති වී ඉන්ද්‍රන් තාවකාලිකව ඉවත් කෙරුණ අතර, ඉන් අනතුරුව ඔහුට විරුද්ධව පැවැත්වීමට නියමිතව තිබුණු විනය පරීක්ෂණයක් හදිසියේ නවතා දැමිණ.

මේ මාසය මුලදී ඔහු කලුතර දිස්ත්‍රික්කයෙන් පොලිස් සුබසාධක මධ්‍යස්ථානයට මාරු කොට තිබේ.

ඒ අතරම ඔහුට විරුද්ධව පැවැත්වෙන වෙනත් පරීක්ෂණයක මූලික විමර්ශනය සඳහා යොදවා ගෙන තිබෙන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් විනය ක්‍රියාමාර්ගවලට ලක් කරන ලද පොලිස් නිලධාරීන් බවත් සංදේශයට අනාවරණය වේ.

'සම්බන්ධයක් නෑ'

එහෙත් දැනට පැවැත්වෙන පරීක්ෂණ සහ අලුත්ගම ගැටුම අතර කිසිදු සම්බන්ධයක් නැති බව පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සංදේශය කළ විමසීමකදී අවධාරණය කළේය.

එම විමර්ශනය සඳහා යොදවා සිටින නිලධාරීන්ගේ තොරතුරු මේ අවස්ථාවේ අනාවරණය කිරීම යෝග්‍ය නොවන බව පැවසූ පොලිස් ප්‍රකාශකවරයා, ඔවුන් නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් විනය ක්‍රියාමාර්ගවලට ලක් කරන ලද නිලධාරීන් නොවන බවද පැවසීය.

නියෝජ්‍ය පොලිස්පති වී ඉන්ද්‍රන්ට ජීවිත තර්ජනයක් එල්ල වී ඇතැයි මෙතෙක් අනාවරණය වී නැති බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සංදේශයට කියා සිටියේය. එසේ තර්ජන එල්ල වී තිබෙන්නේ නම් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු වශයෙන් අවශ්‍ය ආරක්ෂාව සලසා ගැනීමට ඔහුට හැකියාව තිබෙන බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පැවසීය.

'අලුත්ගම ගැටුම සහ විමර්ශනය අතර සම්බන්ධයක් නෑ'

ඔහුගේ ස්ථාන මාරුව පොලිස් සේවයේ අවශ්‍යතා මත සිදු කරන ලද්දක් බවයි, පොලිස් ප්‍රකාශකවරයා පවසන්නේ.

ශ්‍රී ලංකා පොලිසියේ දැනට සේවයේ නියුතු වෙනත් නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට එරෙහිව බරපතල දූෂණ, වංචා සහ විනය විරෝධී ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ල වෙද්දී, එක් නිලධාරියකුට එරෙහිව පමණක් පරීක්ෂණ පැවැත්වෙන්නේ මන්දැයි විමසූ අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කියා සිටියේ මාධ්‍යවල පළ වන සියලු වාර්තා සත්‍ය නොවන බැවින් ඒ සියල්ල පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමේ අවශ්‍යතාවයක්‌ නොමැති බවයි.