රජය සමඟ සාකච්ඡා කරන්න සූදානම් - දෙ ජා ස

28 අගෝස්තු 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 19:21 GMT

උතුරු නැගෙනහිර අර්බුදයට විසඳුමක් සෙවීමේ අරමුණෙන් රජය සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

එක්සත් ශ්‍රී ලංකාවක් තුල බලය බෙදා ගැනීම හැර තමන්ට වෙනත් අරමුණක් නොමැති බවත් අද බ්‍රහස්පතින්දා මාධ්‍ය හමුවක් අමතමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ප්‍රකාශ කළේය.

තව දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ තමන්ගේ පක්ෂයට පෙර රජයේ මැදිහත් වීමෙන් අගමැති නරේන්ද්‍ර මෝඩි පළමුව හමු වුයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ බවයි.

එහිදී පවතින ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉන්දියානු අගමැති වරයා සමග ජනාධිපති මහින්ද රාජපක්ෂ සාකච්චාවක් කර ඇති බවත් මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් පැවසීය.

දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡා මාර්ගයෙන් එකඟතාවකට පැමිණීමෙන් තොරව මෙම අර්බුදය විසඳිය නොහැකි බව පෙන්වා දුන් මන්ත්‍රී වරයා කියා සිටියේ රජය මෙම සාකච්ඡා වලින් ඉවත් වූ බවයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහා ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසන්නේ ඕනෑම අවස්ථාවක දෙමළ ජාතික සන්ධානය සමග සාකච්චාවකට පැමිණීමට රජය සුදානම් බවයි.