ග්ලිෆසේට් තහනම දිස්ත්‍රික්ක හතක පමණයි

28 අගෝස්තු 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 11:54 GMT

ශ්‍රී ලංකාවේ ඇතැම් දිස්ත්‍රික්වල ග්ලිෆසේට් (Glyphosate) වල් නාශක රසායනික ද්‍රව්‍ය ආණ්ඩුව විසින් තහනම් කරල තිබේ.

එම ප්‍රදේශවල අධික වකුගඩු රෝගීන් වාර්තා වීම මේ තහනමට හේතුව බවයි නිලධාරීන් පවසන්නේ.

ශ්‍රී ලංකාව, ලෝකයේ වැඩියෙන්ම කෘෂි රසායනික භාවිතා කරන රටක්.

එහි ප්‍රතිඵලයක් ලෙසින් කෘෂි රසායනික භාවිතාව සහ ඇතැම් ප්‍රදේශවල වකුගඩු රෝගීන් ශීඝ්‍රයෙන් ඉහල යාම අතර සහ - සම්බන්ධතාවක් තියෙන බව වෛද්‍ය විශේෂඥයන්ගේ මතයයි.

ග්ලිෆසේට් තහනම් කරන මෙන් ජනාධිපති නියෝග කළේ මාස කිහිපයකට කලින්.

මේ හේතුවෙන් ආණ්ඩුව ග්ලිෆසේට් නමින් හඳුන්වන වල් නාශක භාවිතා කිරීම තහනම් කොට තිබේ.

එහෙත්, මේ තහනම රට පුරාම බල නොපවත්වන බව කෘෂිකර්ම අමාත්‍යවරයා මහින්ද යාපා‍ අබේවර්ධන සංදේශයට කියා සිටියේය.

ජනාධිපති

ග්ලිෆසේට් තහනම් කරන මෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ නියෝග කළේ මීට මාස කිහිපයකට කලින්.

එහෙත් ඒ නියෝගය ක්‍රියාත්මක කිරීම මෙතරම් ප්‍රමාද වීම පිළිබඳව සංදේශය අමාත්‍යවරයාගෙන් විමසුවේය.

‘මේ වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ බරපතල ගැටළුවක් තියෙනවා. තේවල මිල ඉහල යාම, තේ වගාව පවත්වාගෙන යාම පිලිබඳ ගැටළුවක් පවතිනවා. ශ්‍රම හිඟය බරපතලයි. අපේ රටේ තේ වගාව නැති කරගන්න අපිට අවශ්‍ය නැහැ.’ අමාත්‍ය මහින්ද යාපා‍ අබේවර්ධන පැවසීය.

මේ හානිකර කෘෂි රසායන තහනම ඇතැම් ප්‍රදේශවලට පමණක් සීමා වීමට හේතුව ද අමාත්‍යවරයා පැහැදිලි කළේය.

‘තේ වගාවට අත්‍යවශ්‍යයි මේ වල් නාශකය. නැත්නම් තේ වගාව පවත්වාගෙන යාමට බැරි බය තමයි අපිට වැවිලි කර්මාන්ත අමාත්‍යංශය අපට දැන්වූයේ. ඒ හරිය කඳු ප්‍රදේශ, මේ රසායනික ද්‍රව්‍ය රඳා පැවතීමක් නැහැ වර්ෂාවට හේදිලා යනවා පහලට.’ අමාත්‍යවරයා පැහැදිලි කරයි.

'ප්‍රතිඵලයක් නැහැ'

නමුත්, සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ලේකම් ටි.බි සරත් දරන්නේ වෙනත් අදහසක්.

‘ඕක දිස්ත්‍රික්ක හතක තහනම් කිරීම ප්‍රතිඵලයක් නැහැ. අනික් දිස්ත්‍රික්ක වලින් ගොවියාට ඕක මිලදී ගන්න පුළුවන්.’ ලේකම් ටි.බි සරත් පවසයි.

එයට පිළිතුරු දෙන කෘෂිකර්ම අමාත්‍යවරයා කියා සිටියේ පොලිසිය සහ තම නිලධාරීන් ඒ වෙනුවෙන් කටයුතු කිරීමට යොදවා ඇති බවයි.

ආණ්ඩුව සැබෑ අරමුණකින් තොරව ග්ලිෆසේට් තහනම ක්‍රියාත්මක කරන අතර බහුජාතික සමාගම් වලට අවශ්‍ය දේ කර ගැනීමට ඉඩ හැර ඇති බවයි සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය පෙන්වා දෙන්නේ.

කෘෂි රසායනික ද්‍රව්‍ය වලින් ඇතිවෙන හානිය පිළිබඳව ආණ්ඩුව නිසි පර්යේෂණයක් කරල ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළ යුතු බව ද ගොවි ජන සම්මේලනයේ ලේකම් ටි.බි සරත් සංදේශයට කියා සිටියේය.