උතුරු පළාත සංවර්ධනය අඩාලයි - අමාත්‍ය බැසිල්

28 අගෝස්තු 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 17:01 GMT

උතුරු පළාත සංවර්ධනයේ යම් අඩාල වීමක් දැකීමට ලැබෙන බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.

මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ දිවි නැගුම දෙපාර්තමේන්තුව යටතේ ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට මාධ්‍ය හමුවකට එක් වෙමින්.

දෙමළ ජාතික සන්ධානය උතුරු පළාත් සභාවේ බලය ලබාගැනීමත් සමග අමාත්‍ය බැසිල් රාජපක්ෂ උතුරු පළාතේ සංවර්ධන කටයුතු වලින් ඉවත් විය.

අමාත්‍යවරයා ඊයේ බදාදා ප්‍රථම වරට උතුරු පළාත් සභාව පිහිටුවීමෙන් පසු උතුරේ සංචාරයක නියැලුනු අතර ඒ සම්බන්ධයෙන් අද බ්‍රහස්පතින්දා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වීය.

“උතුරු පළාත් සභාව පිහිටුවීමත් සමගම බොහෝ කටයුතු පළාත් සභාව මගින් ඉෂ්ට කරයි කියලා අපි බලාපොරොත්තු වුන නිසා අපි ගිහිල්ල මැදිහත් වීම සුදුසු නැහැ කියලා තීරණය කළා, ඒ අනුව අපි එහි සංවර්ධන කටයුතු භාරව සිටි ජනාධිපති විශේෂ කාර්ය බලකායේ වැඩකටයුතු නිම කළා, නමුත් අපිට පෙනුනා උතුරේ වැඩ හුඟාක් ප්‍රමාද වෙලා තියෙන බවක්”

ඊයේ බදාදා තමන් යාපනයේ සංචාරය කළේ ඉන්දීය මධ්‍යම රජය හා එක්ව ක්‍රියාත්මක කල ව්‍යාපෘතියක් වන වැසී ගිය අච්චුවේලි කර්මාන්ත පුරය නැවත විවෘත කිරීමට බවයි අමාත්‍යවරයා පැවසුවේ.

" දුම්රිය මාර්ගය අප්‍රේල් මාසය වන විට කන්කසන්තුරේ දක්වා ක්‍රියාත්මක කරන්න අපි ඉලක්ක කර තිබුනා, ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ, ඒ එක උදාහරණයක් විතරයි, මම ගොඩක් අමාරුවෙන් හදපු උතුරේ ගොවිපළක් මම දැක්කා, ඒ වගේ එදිනෙදා පවත්වා ගෙන යා යුතු දේවල් පවා අඩපණ වෙලා, මම දන්නේ නැහැ මොකද කියලා"

උතුරු පළාත් සභාවේ වැඩ කටයුතු අඩ පණ වීමට හේතුව ඔවුන්ට අවශ්‍ය නිසි බලතල ලබා නොදීම දැයි සන්දේශය කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ ලබා දී ඇති බලතල ප්‍රමාණවත් බවත් ගොවිපළවල්, රෝහල්, 98% පාසල්, ධීවර, කෘෂිකර්ම සහ පශු සම්පත් මෙන්ම ඊට අමතරව සංචාරක කර්මාන්තයත් පළාත් සභා යටතේ පවතින අතර ජනතාවට සේවයක් ඉටු කිරීමට එම අංශ ප්‍රමාණවත් බවයි.

ණය යෝජනා ක්‍රමයක්

දිවි නැගුම බැංකු හරහා ප්‍රතිලාභී පවුල් ලක්ෂ පහළොවකට සෙත සලසන ණය යෝජනා ක්‍රමයක් ලබන සැප්තැම්බර් මාසයේ ආරම්භ කරන බවයි තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ.

එමගින් දිවි නැගුම ප්‍රතිලාභ හිමියන්ට ඇපකරුවන් නොමැතිව වාර්ෂිකව 4% පොලියක් යටතේ රුපියල් 50,000 දක්වා ණය මුදලක් ලබාගත හැකි වන අතර මාධ්‍යවේදියෙකු අමාත්‍ය වරයාගෙන් විමසා සිටියේ, වක්‍ර ආකාරයෙන් ලබා දෙන මැතිවරණ අල්ලසක් ලෙස ඌව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කෙටි කාලයක් තිබියදී මෙම ණය මුදල ක්‍රියාත්මක කිරීම උපායක් ද යන්නයි.

අමාත්‍යවරයා කියා සිටියේ එය මැතිවරණ අල්ලසක් නොව අවශ්‍ය මොහොතේ ජනතාව වෙනුවෙන් කරන උපකාරයක් බවයි.

දිවි නැගුම ප්‍රතිලාභී පුද්ගලයන් ආණ්ඩුවේ මැතිවරණ ප්‍රචාරණයට යොදා ගන්නා බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සංදේශය කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියා සිටියේ ආණ්ඩුව විසින් ඉටු කර ඇති සේවය වෙනුවෙන් මේ ජනතාව ආණ්ඩුවට සහයෝගය දක්වන අතර ඔවුන් තම ඡන්දය ලබා දෙන්නේ ස්වේච්ඡාවෙන් බවයි.

රජයේ ආයතනයක පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මැතිවරණය සම්බන්ධයෙන් කරුණු ප්‍රකාශ කිරීමෙන් වැලකි සිටින බව අමාත්‍යවරයා පැවසුවේ ඌව පළාතේ සිදු වන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ගැන කල විමසුමකට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කරමිනි.