නව විද්‍යුත් හැඳුනුම්පත මතභේදයට

22 අගෝස්තු 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 16:57 GMT

යෝජිත නව විද්‍යුත් ජාතික හැඳුනුම්පත තුළින් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර පවසයි.

එම චෝදනාව ප්‍රතික්ෂේප කරන ආණ්ඩුව පවසන්නේ විද්‍යුත් ජාතික හැඳුනුම්පත ලොව පිළිගත් දියුණු තාක්ෂණික වැඩපිළිවෙළක් බවයි.

ජනතාව අතර සංවාදයක් ඇති වීමට ඉඩ නොදෙමින් හඳුන්වා දීමට උත්සාහ කරන විද්‍යුත් ජාතික හැඳුනුම්පතේ සැබෑ අරමුණ ආණ්ඩුව රටට හෙළි කළ යුතු බවයි විපක්ෂයේ මන්ත්‍රී අජිත් කුමාර පැවසුවේ.

ආණ්ඩුව වෙනුවෙන් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය දිමු ජයරත්න පැවසුවේ මෙම හැඳුනුම්පත් ක්‍රමය මගින් වංචා වැළැක්වීමට හැකි වන බවයි.

හැඳුනුම්පත නිකුත් කිරීමට ඉල්ලා ඇති මව්පියන්ගේ හා දරුවන්ගේ තොරතුරු ලබා දීම අනිවාර්ය නොවන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා මෙම හැඳුනුම්පත් ක්‍රමය පුරවැසියන් සහ රට ආරක්ෂා කරන වැඩපිළිවෙළක් හැටියටයි හඳුන්වනු ලැබුවේ.

දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පි.සරවනපවන් මෙම වැඩපිළිවෙළට ආරක්ෂක අමත්‍යංශය සම්බන්ධ ඇයි දැයි කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ හැඳුනුම්පත් ව්‍යාපෘතියේ වැඩ කටයුතු වලට ආරක්ෂක හමුදා සම්බන්ධ කර ගෙන නැති අතර රජයේ හා පෞද්ගලික අංශයේ සේවා වඩාත් කාර්යක්ෂමව මහජනතාවට ලබා දීම මෙහි අරමුණ බවයි.

රහස්‍යභාවය

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පැවසුවේ තම පක්ෂය හැඳුනුම්පත විද්‍යුත් කිරීමට විරුද්ධ නැති නමුත් එමගින් සකස් කිරීමට උත්සාහ දරන දත්ත ගබඩාව සම්බන්ධයෙන් සැක මතු වන බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති කියා සිටියේ, තමන්ගේ හැඳුනුම්පත ලබා ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කරන පෞද්ගලික තොරතුරු වල රහස්‍යභාවය කෙතරම් දුරට සුරැකෙනවාද යන්න මෙන්ම අයුතු ලෙස එම තොරතුරු වෙනත් පාර්ශවයක් විසින් භාවිතා කළොත් ඒ වෙනුවෙන් තමන්ට ගත හැකි පියවර සම්බන්ධයෙන් පුරවැසියන්ට දැන ගැනීමේ අයිතියක් ඇති බවයි.

ඇඟිලි සලකුණු ගැනීම පිළිබඳ විපක්ෂය අනවශ්‍ය බියක් ඇති කරන බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු පැවසීය.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් කියා සිටියේ නිකුත් කිරීමට යන නව හැඳුනුම්පත සහ එහි ඇතුළත් කරන දත්ත මොනවාද යන්න සම්බන්ධයෙන් තවමත් ස්ථීර තීරණයක් ගෙන නොමැති අතර 2016 වසරේ දී මෙම හැඳුනුම්පත නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි.