ඩෙංගු මදුරුවාට එරෙහිව ‘’ඇහැළමල් ව්‍යාපාරය’’ එයි

  • 23 අගෝස්තු 2014

රසායනික ක්‍රම භාවිතයෙන් ඩෙංගු මදුවන් මර්දනය කිරීම ගැටළු ගණනාවකට හේතු ගෙනදීම නිසා භෞතික සහ ජෛව විද්‍යාත්මක ක්‍රම භාවිතයෙන් පරිසර හිතකාමී අයුරින් මදුරු කීටයන් ඉවත් කර මදුරු ගහනය අවම කිරීමේ ව්‍යාප්‍රතියක් නියමු වැඩසටහනක් ලෙස අත්හදා බලන්නට සෞඛ්‍ය අමාත්‍යවරයා අනුමැතිය දෙයි.

ඇහැළියගොඩ දිසා රෝහලේ අධ්‍යක්ෂ දොස්තර ශාන්ත අබේවික්‍රම එම රෝහල තුල සෙසු කාර්ය මණ්ඩලයේ සහය ඇතිව ක්‍රියාත්මක කර ඇති මදුරුවන්ට බිත්තර දැමීමට තැන ඇතිකර ඩෙංගු කීටයන් ඉවත් කිරීමේ වැඩසටහන සාර්ථක වීමෙන් පසු ඊට මෙසේ අනුමැතිය ලැබී තිබුණි.

‘’ඇහැළමල් ව්‍යාපාරය’’ ලෙස නම් කර ඇහැළියගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් පහක මෙම අත්හද බැලීම සිදු කරයි. දේශපාලන අධිකාරිය, ඇහැළියගොඩ ප්‍රාදේශීය සභාව, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වෙනත් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන, මහජන සංවිධාන, පොදු ජනතාව ඊට සම්බන්ධව සිටිති.

ඉඩම් සහ වතුපිටි සුද්ද පවිත්‍ර කර ජලය එකතුවන තැන් ඉවත්කර‘’ඇහැළමල් ව්‍යාපාරය’’ තුලින් හඳුන්වා දුන් අංකනය කළ මැටි බඳුන්වල ළිං හෝ ඇලක දොලක ජලය, නැත්නම් වැසි ජලය තරමක් පුරවා මදුරුවන්ට බිත්තර දැමීමට සලස්වා දින හතරකට වරක් ජල මුද්‍රිත වැසිකිලියකට හෝ පතුල සිදුරුකළ අඟල් අටක් පමණ වැලි පිරවූ භාජනයකට එම ජලය ඉවත් කිරීම මේ ක්‍රමයයි. එය මාස කිහිපයක් අඛණ්ඩව සිදු කිරීමෙන් මදුරු කීටයන් ලක්‍ෂ ගණනක් පරිසරයෙන් ඉවත් වීමෙන් මදුරු ගහනය අඩුවන බව අත්හදා බැලීම් වලින් තහවුරුව ඇතැයි ඇහැළියගොඩ දිසා රෝහලේ අධ්‍යක්ෂ දොස්තර ශාන්ත අබේවික්‍රම කියයි.

ජාතික භාෂා සහ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර පැවසුවේ අඩුවියදම් සහ පරිසර හිතකාමී මේ ක්‍රමය රටපුර ක්‍රියාත්මක කලයුතු බවයි. රසායනික ද්‍රව්‍ය සහ මදුරු කොයිල් ගෙන්වන සමාගම්වල ලාභය අඩුවීමෙන් අභියෝග එල්ලවිය හැකිබවද , ඊට පේටන් බලපත්‍රද ගතයුතුයැයි ද අමාත්‍යවරයා පැවසුවේය.

මේ වසරේ මුල් හත් මාසය තුල පමණක් ඩෙංගු රෝගීන් විසිහතර දහසකට ආසන්න ප්‍රමාණයක් වාර්තා විය. මරණ සංඛ්‍යාවද ඉහළ ගොස් තිබුණි. රටවල් 125ක් ඩෙංගු රෝගයෙන් බැටකයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර