ඌව පරණගම සහ කතරගම මැතිවරණ ගැටුම්

  • 21 අගෝස්තු 2014
ප්‍රහාරයෙන් හානියට පත් ත්‍රීරෝද රථය

ඌව පරණගම ප්‍රදේශයේ ගලහගම පිහිටි එක්සත් ජාතික පක්ෂයේ කාර්යාලයකට අද අලුයම තුනට පමණ ප්‍රහාරයක් එල්ල වී ඇති බව කැෆේ මැතිවරණ නිරීක්ෂණ කාර්යාලය පවසයි.

ගලහගම ධර්මරාජ විද්‍යාලය අසල පිහිටි මෙම කාර්යාලය ස්ථාපනය කොට තිබුනේ ආර්.ඩී.ආරියදාසට අයත් එළවළු වෙළඳසැලක කොටසකය.

එජාප කාර්යාලයේ පරිහරණය සඳහා යොදා ගත් ත්‍රීරෝද රථයකට ද මැර කණ්ඩායම විසින් ගිණි තබා තිබෙන අතර ප්‍රහාරයෙන් වෙළදසැලට දැඩි අලාභ හානි සිදුවී ඇත.

බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ජයන්ත කන්නංගර චෝදනා කරන්නේ මෙම ප්‍රහාරය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක ඒ.එම්.බුද්ධදාසගේ ආධාරකරුවන් විසින් සිදු කර ඇති බවයි.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා

ජයන්ත කන්නංගර කැෆේ සංවිධානය වෙත පැමිණිල්ලක් යොමු කරමින් කියා සිටියේ මින් පෙර එජාප ප්‍රධාන ඇමති අපේක්ෂක හරීන් ප්‍රනාන්දුගේ සහභාගීත්වයෙන් පැවැත්වූ රැස්වීමකින් පසු ජීප් රථයකින් පැමිණි පිරිසක් රැස්වීමට සහභාගී වුවන්ට තර්ජනය කිරීමක්ද කර තිබුන බවයි.

මේ අතර ඌව පළාත් සභාවට මොනරාගල දිස්ත්‍රික්කයෙන් තරඟ කරන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අපේක්ෂක ප්‍රියන්ත කුමාරට අද බ්‍රහස්පතින්දා අළුයම දෙකට පමණ මැර කණ්ඩායමක් විසින් පහර දී ඇති අතර ඔහු සහ ඔහුගේ ආධාරකරුවන් දෙදෙනෙකු කතරගම රෝහලට ඇතුළත් කර තිබේ.

හාලිඇල ප්‍රදේශයෙන් ප්‍රචණ්ඩ ක්‍රියා දෙකකුත් මහියංගනයෙන් සහ ඌව පරණගමින් ප්‍රචණ්ඩ ක්‍රියා එක බැගිනුත් වාර්තා වී ඇති අතර පළාත් සභා මැතිවරණය ආරම්භ වීමෙන් පසුව මේ දක්වා බදුල්ල දිස්ත්‍රික්කයෙන්වාර්තා වූ මුළු ප්‍රචණ්ඩ ක්‍රියා ගණන හතරකි.

හැඳුනුම් පත්

ඌව පළාත් සභා මැතිවරණය සඳහා ඡන්ද ප්‍රකාශ කිරීමට බලාපොරොත්තුවන බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන්ගෙන් තිස් දහසකට හැඳුනුම් පත් නැතැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රජිත් කීර්ති තෙන්නකොන් මේ අතර ප්‍රකාශ කරයි.

මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් පිළිගන්නා කිසිදු ආකාරයක හැඳුනුම් පතක් ඔවුන් සතුව නැති බවත් සැප්තැම්බර් 20 වැනිදා ඡන්ද ප්‍රකාශ කිරීමට නම් ඔවුන් දෙපාර්තමේන්තුව පිළිගත් කිසියම් හෝ හැඳුනුම්පතක් ලබා ගත යුතු බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

හැඳුනුම් පත් නොමැති පුද්ගලයන් අතර ඉතා දිළිඳු පුද්ගලයන් සහ ඉන්දීය සම්භවයක් ඇති වතු සේවකයන් සිටින බව පැවසූ ඔහු එම පිරිස් පස්සර, හපුතලේ, හාලි ඇළ සහ වැලිමඩ යන ප්‍රදේශවල ජීවත්වන බවද පැවසුවේය.

ජංගම සායන

පුද්ගලයන් ලියා පදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ කැෆේ සංවිධානය එක්ව එම පුද්ගලයන්ට හැඳුනුම් පත් ලබා දීමේ ජංගම සායන පැවැත්වීමේ වැඩසටහනක් ආරම්භ කොට ඇති බවත් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රජිත් කීර්ති තෙන්නකොන් ප්‍රකාශ කළේය.