ආණ්ඩුව කලින් මුට්ටිය දැම්මා -සෝභිත හිමි

21 අගෝස්තු 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 17:42 GMT

ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යන යෝජිත බෞද්ධ විහාර හා දේවාලගම් පනතට එක්සත් ජාතික පක්ෂයේ සහ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති ‍පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ විරෝධය පළ විය.

කෝට්ටේ ශ්‍රී නාග විහාරයේදී මහා සංඝ රත්නය හා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර මෙම යෝජිත පනත සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

විහාරාධිපති තනතුර

පන්සල් වල විහාරාධිපති තනතුර සඳහා රජයට අවශ්‍ය හිමිවරුන් පත් කර ගැනීමට මෙම නව යෝජිත පනතෙන් රජය උත්සහ ගන්නා බව කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ විහාරාධිපති ‍පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ පවසති.

මෙම නව පනත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් ඉදිරියේ දී බෞද්ධ සිද්ධස්ථාන හා භුමි විනාශයට යනු ඇති බවයි සෝභිත හිමියන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජිත පිරිස සමග සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යයට පැවසුවේ.

'මුට්ටිය දැම්මා'

"ආණ්ඩුව කලින් මුට්ටිය දාලා බැලුවා, කතරගම කිරිවෙහෙරේ විහාරධිපති කමට තිබුණේ පාරම්පරික උරුමේ, ඒක පැත්තකට කරලා රජයෙන් පත් කිරීමක් කළා, ඒ පත් කිරීම මල්වතු මහා විහාරය පිළිගත්තේ නැහැ, මහා විහාරය සුදුස්සාට ආධිපත්‍ය පැවරුවා , රජය පැරදුනා, දැන් ඒකට තමයි මේ නීතිය ගේන්න උත්සහ කරන්නේ, මින් ඉදිරියට පන්සලේ විහාරධිපතිකමට කෙනෙක් පත් කිරීමේ අයතිය රජයට ගැනීමට" මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවසුහ.

මහ නාහිමියන් පවා මෙම යෝජිත පනත් සංශෝධනයට සිය විරෝධය පළ කර ඇති බවයි මාදුළුවාවේ සෝභිත හිමියන් පැවසුවේ.

"දැනටමත් අස්ගිරි මහ නාහිමියන් පවසා තිබෙනවා මේ පනතෙන් භික්ෂූන් වහන්සේලා පන්සල් වල හිරකාරයන් බවට පත් වෙනවා කියලා" සෝභිත හිමියෝ පවසති.

මහ නාහිමියන්

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පැවසුවේ ආණ්ඩුව මෙම පනත ඉදිරිපත් කරන්නේ මහ නාහිමියන්ගේ අවසරය ඇතුව බව පැවසුවත් තවමත් මේ පනත උන්වහන්සේලාගේ අනුමැතිය සදහා ඉදිරිපත් කර නොමැති බවයි.

"මෙමගින් වෙන දෙයක් තමයි බුද්ධ ශාසනයේ කාරක සභා වලට තිබෙන බලය සම්පූර්ණයෙන්ම පිරිහීම, බුද්ධ ශාසනයට තිබෙන බලය මෙමගින් අහිමි කරනවා" රනිල් වික්‍රමසිංහ පැවසීය.

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක ගිරාඹේ ආනන්ද හිමියෝ ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් ද එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ද එක්ව සිටියහ.