ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

"පොලිසියේ ගෞරවය ආරක්ෂා කරන්න"

21 අගෝස්තු 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 14:07 GMT

නියෝජ්‍ය ඇමති හේමාල් ගුණසේකර ගමන ගත් වාහනයේ රියදුරුට දඩ ගැසූ, පොලිස් කොස්තාපල් සුමින්ද සමන්ට එරෙහිව පවරා තිබූ අල්ලස් චෝදනා විභාගයට ගත් අධිකරණය විසින් ඔහු ඇප මත මුදා හැරීමට අද නියෝග කෙරිණ.

නීතිවිරෝධී මත්පැන් ජාවාරම් කාරියකගෙන් රුපියල් දහසක අල්ලසක් ලබා ගත් බවට චෝදනා කරමින් පොලිස් කොස්තාපල් සුමින්ද සමන්ට එරෙහිව අල්ලස් කොමිසම විසිනුයි කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබුණේ.

පළිගැනීමක්

එහෙත් විත්ති පාර්ශවයේ නීතිවේදී අනුර මැද්දෙගොඩ කියා සිටියේ දක්ෂිණ අධිවේගී මාර්ගයේදී නියෝජ්‍ය ඇමතිවරයාගේ රියදුරුට එරෙහිව දඩ ගැසීම නිසා පලිගැනීමක් ලෙස විත්ති කරුට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව පවරා ඇති බවයි.

අදාළ නඩුව පවත්වාගෙන යාමට නොහැකි බැවින් එය ඉල්ලා අස් කර ගන්නා මෙන් අල්ලස් කොමිසමෙන් අධිකරණය හමුවේ ඉල්ලා සිටි නීතිවේදී මැද්දෙගොඩ තව දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ විත්තිකරුට එල්ල කර ඇති චෝදනාව පදනම් විරහිත බවයි.

විත්තිකාර පොලිස් කොස්තාපල් සුමින්ද සමන් මාධ්‍යවලට අදහස් දක්වමින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියේ තමන්ට එරෙහිව පවතින පැමිණිල්ල අපක්ෂපාති අයුරින් විභාග කරන ලෙසයි.

එම චෝදනා ප්‍රත්ක්ෂේප කරන අල්ලස් කොමිසමේ නිලධාරීන් පැවසුවේ මෙම විත්තිකරුට එරෙහිව 2009 වසරේ ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණය ආරම්භ කළ බවයි.

පොලිසියේ ගෞරවය

පොලිසියේ ගෞරවය ආරක්ෂා කරන ලෙසත්, පැමිණිල්ලේ දෙපාර්ශවය නීතිය ඉදිරියේ පැමිණිලිකරු සහ විත්තිය ලෙස සලකමින් සාධාරණ පරීක්ෂණයක් පවත්වන මෙන් තමන් ඉල්ලා සිටින බවයි ඔහු කියා සිටියේ.

සැප්තැම්බර් මස 01 වනදා පැමිණිල්ල නැවත කැඳවීමට නියම කළ අධිකරණය එදිනට වැඩිදුර කරුණු සලකා බලන බව ප්‍රකාශ කර තිබේ.