ජල උල්පත් තිබියදී බවුසර්වලට මුදල්

20 අගෝස්තු 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 18:03 GMT

වසරකට වැඩි කාලයක් මුළුල්ලේ පවතින දැඩි නියඟය හේතුවෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගෝමරන්කඩවල සහ මොරවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ පවුල් 6000 කට ආසන්න පිරිසකට පීඩා විඳීමට සිදු වී තිබේ.

සියලු දෛනික කටයුතු පසෙක ලා ජලය සොයා සැතපුම් ගණනක් යාමට සිදු වීම ගැන මෙම ප්‍රදේශවාසීහු මැසිවිලි නගති.

නමුත් ප්‍රයෝජනයට නොගන්නා ස්වභාවික ජල උල්පත් බොහොමයක් ප්‍රදේශය පුරා පවතින බවයි ගෝමරන්කඩවල සහ මොරවැව ප්‍රදේශයේ සංචාරයක නිරත වූ ආර් ජී ධර්මදාස සංදේශයට පවසන්නේ.

කන්තලේ සිට බවුසර මගින් පානීය ජලය සැපයීම සඳහා අධික මුදලක් නාස්ති කරන බව මොරවැව දකුණ ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති එච් එම් සරත් කුමාර ප්‍රකාශ කළේය.

‘එක ජල බවුසරයක් මෙහාට එන්න රුපියල් පහළොස්දාහක් විතර යනවා කියල තමයි කියන්නේ. මාසෙකට රුපියල් හාරලක්ෂ පනස් දාහක් විතර යනවා. ඒ මුදලින් පුළුවන් ළිං හාරලා, ජල ටැංකි ගහල මුළු ගමටම වතුර දෙන්න.’ එච් එම් සරත් කුමාර පැවසීය.

මේ පිළිබඳව ජල සම්පාදන මණ්ඩලයේ උසස් නිලධාරියෙකු පැවසුවේ ඉහත කී ප්‍රදේශයට ගිය තම නිලධාරීන් එක්තරා භික්ෂුවක් විසින් පලවා හරිනු ලැබූ බවයි.

එම නිලධාරියා තම නම හෙළි කිරීමට අකමැති වී තිබේ.

වැඩි විස්තර සඳහා හඬ පටයට සවන් දෙන්න.