ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අර්බුදයක?

14 අගෝස්තු 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 18:10 GMT

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස හා ලේකම් නිශාන්ත රණතුංග අතර මත ගැටුම තමන් මැදිහත් වී නිරාකරණය කළ බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනය සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දිය යුතු ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස විසින් එහි සියලුම සාමාජිකයන් වෙත ලිපියක් යවනු ලැබ තිබියදී එම ලිපිය අභියෝගයට ලක් කරමින් ලේකම් නිශාන්ත රණතුංග විසින් එහි තවත් සාමාජිකයන් කිහිප දෙනකුට යවනු ලැබ ඇති ලිපියක් හේතුවෙන් ක්‍රිකට් ආයතනයේ අර්බුදකාරී වාතාවරණයක් ඇති විය.

ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා හා ලේකම්වරයා අතර වැරදි වැටහීම නිසා ඇති වී තිබූ එම ගැටලුව සාකච්ඡා කිරීමෙන් අනතුරුව නිරාකරණය කළ බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවත් සංදේශයට වාර්තා වූයේ මහේල ජයවර්ධනගේ අවසන් ටෙස්ට් තරගයෙන් පසු අර්බුදය නැවත පැන නැගිය හැකි බවයි.

මහේල ජයවර්ධනගේ අවසන් ටෙස්ට් තරගය නිමවන තෙක් මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනිමට දෙපාර්ශවය අතර එකඟතාවක් ඇතිවූ බවයි වර්තා වන්නේ.

නිලවරණයේ පෙරනිමිති

ක්‍රිකට් ආයතනයේ මතුව ඇති ඉහත කී අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් සංදේශයට අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා මාධ්‍යවේදී රන්ජන් පරණවිතාන කියා සිටියේ, ඉදිරියේ පැවැත්වෙන ක්‍රිකට් නිලවරණය සඳහා කෙරෙන බල අරගලය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙවන් තත්වයකට පත්ව ඇති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනකු වන කුමාර් සංගක්කාරට හා මහේල ජයවර්ධනට අසාධාරණ සිදු කරන බවට ක්‍රිකට් ලේකම් නිශාන්ත රණතුංගට චෝදනා එල්ල වී ඇත.

ලේකම්වරයාට එල්ල වී ඇති තවත් චෝදනාවක් වන්නේ සභාපතිවරයාගේ බලතල ද ඉක්මවා‍ ගොස් ඔහුගේ ස්ව අභිමතය පරිදි කටයුතු කිරීමයි.

එල්ලවී ඇති චෝදනා හේතුවෙන් ක්‍රිකට් ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස ජනාධිපතිවරයා නිශාන්ත රණතුංගට දැනුම් දී ඇති බව පුවත්පත් මගින් වාර්තා කර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මාධ්‍යවේදී රන්ජන් පරණවිතාන කියා සිටියේ එකී පුවත සාවද්‍ය වන බවක් ජනාධිපති මාධ්‍ය අංශය තවමත් ප්‍රකාශ කොට නැති බවයි.