‘පකිස්තාන් අනාථයන් ශ්‍රී ලංකාවට බරක් නොවෙයි’ - ලක්ෂාන් ඩයස්

6 අගෝස්තු 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 17:41 GMT

ශ්‍රී ලංකාවේ පිළිසරණ පතන පකිස්තාන් පවුලක්

ශ්‍රී ලංකාවේ සරණාගත භාවය පැතූ පකිස්තාන් ජාතිකයන් කණ්ඩායමක් පිටුවහල් කරනු ලැබීම සම්බන්ධයෙන් කණස්සල්ල පළ කරනු ලැබීමෙන් සෑහීමට පත් නොවී අනාථයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය එම පියවර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවත් සමග සාකච්ඡා කළ යුතුව ඇතැයි මානව හිමිකම් නීතිඥ ලක්ෂාන් ඩයස් පවසයි.

ශ්‍රී ලංකාව විසින් යළි නෙරපා හරින ලද කණ්ඩායම පකිස්තානයේ දී හිරිහැර ආදියට ගොදුරු විය හැකි බවයි එම ආයතනය පෙන්වා දෙන්නේ.

ලක්ෂාන් ඩයස්

පකිස්තාන් සරණාගතයන් වෙනුවෙන් පෙනී සිටි මානව හිමිකම් නීතිඥ ලක්ෂාන් ඩයස් බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ශ්‍රී ලාංකිකයන් ලක්ෂ ගණනක් ද මේ වන විට විවිධ රටවල රැකවරණ ලැබ ජීවත් වෙන අතර ඉන්දියාවේ පමණක් ශ්‍රී ලාංකික දෙමළ ජනයා ලක්ෂ ගණනක් තවමත් ජීවත් වෙන බවත් සඳහන් කළේය.

දිවි රැක ගැනීමට

සිය ජීවිත රැක ගැනීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි පකිස්තාන් ජාතිකයන්ට පිළිසරණ වීම ශ්‍රී ලංකාවට දැරිය නොහැකි බරක් නොවන බවත් නීතිවේදී ලක්ෂාන් ඩයස් පවසයි.

‘තම රටේදී සන්නද්ධ කණ්ඩායම්වල පීඩාවට,තර්ජනයට ලක් වූ මේ ජනතාව දිවි බේරා ගනිමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තිය මගින් ද තහවුරු කර ඇති පරිදි තවත් රටකට පලා ගොස් තුන්වෙනි රටකට යාමේ අදහසින් සිටි පිරිසක්’ වන බවයි මානව හිමිකම් නීතිවේදියා පවසන්නේ.

පිටුවහල් කරන ලද කණ්ඩායමට අමතරව තවත් පකිස්තාන් ජාතිකයන් දෙසීයකට අධික සංඛ්‍යාවක් ද ඉරාන් සහ ඇෆ්ඝන් ජාතිකයන් කණ්ඩායමක් ද ශ්‍රී ලංකාවේ රැකවරණ ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.