ආණ්ඩුවෙන් බටහිරට චෝදනා

  • 6 අගෝස්තු 2014

දෙමළ සුළු ජාතිය සම්බන්ධයෙන් පක්ෂග්‍රාහී අන්දමින් කටයුතු කරන බවට ශ්‍රී ලංකා ආණ්ඩුව බටහිර රාජ්‍යතාන්ත්‍රිකයන්ට චෝදනා කරයි.

ඇමරිකාව ඇතුළු අනෙකුත් රටවල විදේශ නියෝජිතයන් හා යුද්ධයෙන් අතුරුදන් වූ පුද්ගලයන්ගේ ඥාතීන් අතර කොළඹ මරදාන ,සමාජය හා සාමයික කේන්ද්‍රයේ පැවති සාකච්ඡාවට භික්ෂූන් වහන්සේලා ඇතුළු කණ්ඩායමක් කඩා වැදී කඩාකප්පල් කර දැමීමේ සිදුවීම එම චෝදනාවට පදනම් වන්නේ.

බටහිර රාජ්‍යතාන්ත්‍රිකයන්,බහුතරයක් වන සිංහල ජාතිකයන් පසෙකලා දෙමළ සුළු ජාතිය සම්බන්ධයෙන් පක්ෂග්‍රාහී ආකාරයකින් කටයුතු කිරීම ජාති භේදය ඇති කරමින් ජනතාව අතර අවිශ්වාසය ගොඩ නැගීමට ඉඩ ලබා දෙන බවයි, ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය පවසන්නේ.

හැඟිම්බර අවස්ථා වලට සහභාගී වීමේ දී එම කාරණා සම්බන්ධයෙන් රට තුළ පවතින සංවේදීතාව පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් විදේශ අමාත්‍යංශය විදේශ රාජ්‍යතාන්ත්‍රිකයන්ගෙන් ඉල්ලීමක් කරයි

විවෘත ආකල්පයක් නෑ

'සුවිශේෂී පළාතක් සහ ප්‍රජා කණ්ඩායමක් උදෙසා' සංවිධානය කෙරෙන අවස්ථාවන්හිදී විදේශ රාජ්‍යතාන්ත්‍රික අංශවල ඇතැම් කොටස් විවෘත ආකල්පයකින් තොරව ඒවාට සහභාගී වන බවක් දක්නට ඇති බවත් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශ නිවේදනය කියා සිටියි.

සමාජය සහ සාමයික කේන්ද්‍රයේ පැවති සාකච්ඡාව කඩාකප්පල් කළ අවස්ථාවේ පොලිසියේ හැසිරීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කළ ඇමෙරිකානු තානාපති කාර්යාලය, සාකච්ඡාව කඩාකප්පල් කර දැමීමට පැමිණි පිරිසගේ උවමනාවට පොලිසිය සහයෝගය දක්වන ආකාරයක් පෙනී ගිය බවයි ඔවුන් විසින් නිකුත් කරනු ලැබ තිබුණ නිවේදනය මගින් කියා තිබුණේ.

රැස්වීමේ සහ අදහස් පළ කිරීමේ නිදහස සම්බන්ධයෙන් රට තුල බල පැවැත්වෙන නීතිය ක්‍රියාවට නැංවීමට පියවර ගන්නා මෙන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටීමට ද ඇමරිකානු තානාපති කාර්යාලයට එම අවස්ථාවේ පියවර ගෙන තිබුණි.

ප්‍රංශය, ජර්මනිය බ්‍රිතාන්‍යය සහ ස්විට්සර්ලන්තයත් ඇමරිකාවේ ඉහත ඉල්ලීමට සහය පළ කරමින් නිවේදන නිකුත් කර ඇත.