තානාපති අංශ සමාජ සංවිධානවල පංගු කරුවන් නොවිය යුතුයි - වාසුදේව

අවසාන යාවත්කාලීන කිරීම :  2014 අගෝස්තු 6 බදාදා - 18:04 GMT

ජාතික භාෂා සහ ජනවාර්ගික කටයුතු අමාත්‍ය වාසුදේව නානායක්කාර

ශ්‍රී ලංකාවේ දේශපාලන සහ සමාජ සංවිධාන සමඟ සම්බන්ධකම් පැවැත්වීම වරදක් නොවන බව පවසන ජාතික භාෂා සහ ජනවාර්ගික කටයුතු අමාත්‍ය වාසුදේව නානායක්කාර ඔවුනට මේ රටේ කටයුතු කිරීමේදී සිදුවන දේ දැන ගැනීමටත් රටේ පවතින ස්වභාවයන් හඳුනා ගැනීමටත් අවශ්‍ය බව ප්‍රකාශ කරයි.

"පොලීසිය අවහිර කරන්නන් ඉවත් කරනවා වෙනුවට එම අවහිරයට භාජනය වන්නන්ගේ ක්‍රියාකාරිත්වය නැවත්වීමට උත්සාහ කරනවා. පොලීසිය කරන්නේ ඇත්තටම ඔවුන්ගේ වගකීමට ප්‍රති විරුද්ධ දෙයක්"

එහෙත් ඔවුන් ඒ සීමාව ඉක්මවා ගොස් එම සමාජ සංවිධානවල පංගු කරුවන් වනවා නම් එවිට එය මෙරට අභ්‍යන්තර ප්‍රශ්නවලට අනවශ්‍ය ලෙස ඇඟිලි ගැසීමක් ලෙස සැලකිය හැකි බව ඔහු සංදේශයට ප්‍රකාශ කළේය.

මැදිහත්වීම

“ ලංකාවේ විශේෂ වූ ජන කොටසක් හෝ විශේෂ වූ භූමි ප්‍රදේශයක් සම්බන්ධයෙන් ඔවුන්ගේ මැදිහත්වීම නොවිය යුතුයි කියල කියනවට වඩා පොදුවේ ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රියාකාරීත්වය හෝ සමාජ මැදිහත්වීම් තුළ ඔවුන් නොසිටිය යුතුයි,” ඇමතිවරයා සඳහන් කළේය.

සුළු ජාතික ජන කොටසක් මුල් කර ගෙන නොව, යම්කිසි ආකාරයකට මෙරට පෙළ ගැසෙන දේශපාලන බලවේගයක් සම්බන්ධයෙන් වුවත් ඔවුන් යම්කිසි දායකත්වයක් දෙන්නට උත්සාහ දැරුවොත් එයත් වැරදි බවයි ඔහු පැවසුවේ.

මරදාන, සමාජය සහ සාමයික සංවිධානයේ සාකච්ඡාවට භික්ෂූන් වහන්සේ ගොස් බාධා පැමිණවීම බරපතළ වරදක් පැවසූ ඔහු පොලීසිය ඔවුන්ට විරුද්ධව ක්‍රියා කළ යුතු බවයි පවසන්නේ.

බරපතළ වරදක්

කවර හෝ සංවිධානයක රැස්වීමක් හෝ සාකච්ඡාවක් පැවැත්වෙන ස්ථානයකට බලහත්කාරයෙන් කවුරු කඩා වැදෙන්න ගියත් එය නීති විරෝධී කටයුත්තක් බවත් ඒ ගැන ශ්‍රී ලංකාවේ නීතිය ඔවුන්ට විරුද්ධව ක්‍රියාත්මක කළ යුතු බවත් අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළේය.

පොලීසිය මෙවැනි අවස්ථාවලදී විය යුතු ආකාරයට කටයුතු සිදු නොකිරීම ගැන දැනටමත් පැමිණිළි ලැබී තිබෙන බවයි ඔහු පැවසුවේ.

“ පොලීසිය අවහිර කරන්නන් ඉවත් කරනවා වෙනුවට එම අවහිරයට භාජනය වන්නන්ගේ ක්‍රියාකාරිත්වය නැවත්වීමට උත්සාහ කරනවා. පොලීසිය කරන්නේ ඇත්තටම ඔවුන්ගේ වගකීමට ප්‍රති විරුද්ධ දෙයක්,” ඇමතිවරයා තවදුරටත් සඳහන් කළේය.

රජයේ වගකිවයුතු ඇමතිවරයකු හැටියට මෙවැනි තත්වයන් වැළැක්වීමට තමන් ගන්නා ක්‍රියා මාර්ග කවරේදැයි විමසූ විට, තමන්ට එවැනි පැමිණිල්ලක් ලැබුනහොත් නීතිය හා සාමය පිළිබඳ ඇමතිවරයාට තම අදහස කියා යවන බවත් ඉන් ඔබ්බට යමක් කළ හැකි නම් එය ඉටු කිරීමට තමන් සූදානම් බවත් අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.