චෙන්නායි ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ හරවා එවති

අවසාන යාවත්කාලීන කිරීම :  2014 අගෝස්තු 4 සඳුදා - 11:44 GMT

දෙදහස් දොළහ වසරේ පැවති උද්ඝෝෂණයක්

ඉන්දියාවේ චෙන්නායි නගරයේ පැවැත්වෙන පෞද්ගලික ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට ගොස් සිටි වයස පහළොවෙන් පහළ ශ්‍රී ලංකා කනිෂ්ඨ ක්‍රිකට් කණ්ඩායම ආරක්ෂක හේතුන් මත නැවත ශ්‍රී ලංකාවට පිටත් කර එවා තිබේ.

ක්‍රිකට් කණ්ඩායම් දොළහක් සහභාගී වන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කනිෂ්ඨ ක්‍රීඩකයෝ දාසය දෙනෙකු කොළඹ සිට චෙන්නායි නගරයට පැමිණ සිටියහ.

නමුත් අද සඳුදා ආරම්භ වීමට නියමිත තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට අවසර ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති බව තරග සංවිධායකයෝ පවසා තිබේ.

ආරක්ෂාව

කණ්ඩායමේ ආරක්ෂාව සහතික කළ නොහැකි බව පවසා ඇති චෙන්නායි පොලිස් නිලධාරීන් නගරයෙන් පිට වන ලෙස කණ්ඩායමට දන්වා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මේ මොහොත වන විට දකුණු ඉන්දියාවේ දැඩි ශ්‍රී ලංකා විරෝධයක් මතු වී ඇති අතර පසු ගියදා ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවියේ පළ කෙරුණ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මොදි සහ තමිල්නාඩු ප්‍රාන්ත මහා ඇමතිනිය ජයලලිතා සම්බන්ධ ලිපිය ඊට බලපා ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරති.

පෙම් පත්

මතභේදයට ලක් වූ ලිපියේ සිරස්තලය වී තිබුණේ 'නරේන්ද්‍ර මෝදිට යැවූ ජයලලිතාගේ පෙම් පත්වල වැදගත්කම කුමක්ද?’ යන අදහස දෙන ඉංග්‍රීසි වැකියකි.

ඉන්දීය මාධ්‍ය වල දැඩි අවධානයට හා දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි ආන්දෝලනයකට තුඩු දුන් එම ලිපිය වහාම ඉවත් කර ඉන්දියාවෙන් සමාව ඉල්ලා සිටීමට ශ්‍රී ලංකාවේ බලධාරියෝ පියවර ගත්හ.

ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවියේ පළ කෙරුණ එම ලිපිය සම්බන්ධයෙන් තමිල්නාඩුව තුල ක්‍රියාත්මක වන සියලු දේශපාලන පක්ෂවල විරෝධය එල්ල වී ඇති අතර ඊට එරෙහිව තමිල්නාඩුවේ බොහෝ ස්ථානයන්හි උද්ඝෝෂණ පැවැත්වෙන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.