ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජයග්‍රහණ නොලැබීමේ වගකීම ‘ජාතික සංගම්’ දැරිය යුතුයි

3 අගෝස්තු 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 13:21 GMT

ශ්‍රී ලාංකීය ක්‍රීඩකයන්ගෙන් බලාපොරොත්තු වන මට්ටමේ ජාත්‍යන්තර තරඟ ජයග්‍රහණ ලබා ගැනීමට නොහැකි වීමේ වගකීම ජාතික සංගම් විසින් දැරිය යුතු බව ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ෆර්නැන්ඩු පවසයි.

ශ්‍රී ලංකා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මුල් වී නිවැරදි තීරණ ගෙන ක්‍රීඩා ක්ෂේත්‍රය සැලසුමකට අනුව ඉදිරියට ගෙන යා යුතු බවත් සභාපතිවරයා අවධාරණය කරයි.

ග්ලාස්ගෝ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දක්ෂතා පිළිබඳ සෑහීමකට පත් විය නොහැකි බව පවසමින් සභාපතිවරයා බීබීසී සංදේශයට මේ බව කියා සිටියේය.

රටට ගෞරවයක් ගෙනෙන සේ තම තමන්ට අයත් ක්‍රීඩාව දියුණු මට්ටමකට ගෙන ඒමේ වගකීම ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව තුළ සිටින ජාතික සංගම් විසිපහ සතු බවයි ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා කියා සිටියේ.

ජාත්‍යන්තර තරඟවලට සහභාගී වීමෙන් තම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තවදුරටත් අත්දැකීම් ලබා ගැනීම සඳහා අවස්ථාව ලැබෙන බව ජාතික සංගම් පවසන නමුත් පසුගිය කාලය පුරා සිදු වූවා මෙන් රජයේ මුදල් වියදම් කර තව දුරටත් අත්දැකීම් පමණක් ලබා ගැනීම නිවැරදි නොවන බව හේමසිරි ෆර්නැන්ඩු පැවසුවේය.

දෙදහස් දාහත වසරේ ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල, හම්බන්තොට නගරයේ පැවැත්වීමට අවශ්‍ය පහසුකම් හා සැලසුම් පිළිබඳ ආසියානු ඔලිම්පික් කවුන්සිලය සමග සාකච්ඡා කරමින් සිටින බවත් ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ෆර්නැන්ඩු වැඩි දුරටත් බීබීසීයට කියා සිටියේය.