දමිඳු යශේන් නිරුපද්‍රිතව

  • 2 අගෝස්තු 2014

මෙයින් දින කීපයකට පෙර පැහැර ගැනීමට ලක් වූ දමිඳු යශේන් ඒකනායක ළදරුවා නිරුපද්‍රිතව මේ වන විට යළි සිය දෙමව්පියන් අතට පත්ව සිටියි.

ගල්ගමුව, මිගලෑව ගම්මානයේ දරුවකු වන දමිඳු යශේන් කප්පම් කරුවන් විසින් පැහැර ගනු ලැබුණේ රුපියල් කෝටියක මුදලක් ඉල්ලමින්.

කප්පම් කරුවන්ගේ මුල් ඉලක්කය වී තිබුණේ ලී මෝල් ව්‍යාපාරිකයකු වූ දමිඳු යශේන් ගේ පියා බවත් වාර්තා වෙයි.

ළදරුවා පැහැර ගැනීම ආරම්භයේ පටන් ඔහු සොයා ගැනීමේ විශාල පොලිස් මෙහෙයුමක් දියත් කෙරෙමින් තිබුණ අතර කප්පම් කරුවන් දරුවා ගල්ගමුව ප්‍රදේශයේ ගම්මානයක දමා ගොස් තිබුණ බවයි, සෙනසුරාදා කොළඹ පැවති මාධ්‍ය හමුවක දී පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ.

දමිඳු යශේන් පැහැර ගැනීමට හවුල් කණ්ඩායමට ඔහුගේ පවුලේ ඥාතියකු ද ඇතුළත් බවයි මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙන්නේ.

සැකකරුවන් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වෙයි.