ආරක්ෂක අමාත්‍යංශය ඉන්දියාවෙන් සමාව ඉල්ලයි

අවසාන යාවත්කාලීන කිරීම :  2014 අගෝස්තු 1 සිකුරාදා - 17:31 GMT

ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවියේ පළ කෙරුණ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මොදි සහ තමිල්නාඩු ප්‍රාන්ත මහා ඇමතිනිය ජයලලිතා සම්බන්ධ ලිපියක් ඉන්දියාවේ මාධ්‍ය වල දැඩි අවධානයට ලක් විය.

එම ලිපිය වහාම ගලවා ඉවත් කර ඉන්දියාවෙන් සමාව ඉල්ලා සිටීමට ශ්‍රී ලංකාවේ බලධාරීන් පියවර ගෙන ඇත.

මතභේදයට ලක් වූ ලිපියේ සිරස්තලය වී තිබුනේ 'නරේන්ද්‍ර මෝදිට යැවූ ජයලලිතාගේ පෙම් පත්වල වැදගත්කම කුමක්ද?’ යන අදහස් දෙන ඉංග්‍රීසි වැකියකි.

එම ලිපිය ගලවා දැමීමට පියවර ගැනීමේ පසුබිම ගැන සංදේශය කළ විමසීමකට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය කියා සිටියේ, රාජකාරියේ නිරතව සිටි වෙබ් අඩවි ක්‍රියා කරවන්නෙකු විසින් කිසිසේත්ම අනුමත කළ නොහැකි මට්ටමේ පෞද්ගලික අදහස් ඇතුළත් එම ලිපිය ඡායා රූපයක් ද සහිත ව පළ කොට තිබුණ බවයි.

තව දුරටත් අදහස් දැක්වූ බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය කියා සිටියේ ඒ බව දැනගත් වහාම අදාළ ලිපිය වෙබ් අඩවියෙන් ඉවත් කොට ඉන්දියාවේ අගමැතිවරයාගෙන් සහ තමිල්නාඩු ප්‍රාන්ත මහා ඇමතිනියගෙන් සමාව ඉල්ලා ලිපියක් පළ කිරීමට කටයුතු කළ බවයි.

වැඩි දුර පරීක්ෂණ

මතභේදයට ලක් වූ ලිපිය පළ කරන ලද පුද්ගලයන් කුමන හේතුවක් මත එය කළා දැයි තවමත් හෙළි වී නැති නමුත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු පවත්වන බවත් නැවත මෙවැනි දෙයක් සිදු වීම වැළැක්වීමට පියවර ගන්නා බවත් බ්‍රිගේඩියර්වරයා සංදේශයට පැවසීය.

මේ සම්බන්ධයෙන් ඉන්දීය රජයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් වුවාද යන ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් ඔහු කියා සිටියේ දැනට එවැනි පැමිණිල්ලක් ඉදිරිපත් වී නැති බව තමන් විශ්වාස කරන අතර සමාව ගැනීමේ ප්‍රකාශය පළ කිරීම මගින් මෙය අත් වැරදීමක් බව ඉන්දියාවට පැහැදිලි වනු ඇති බවයි.

මෙම සිදුවීම දෙරට අතර දෙපාර්ශවීය සම්බන්දතා වලට කිසිදු බලපෑමක් ඇති නොකරන බවත් ඔහු කියා සිටියේය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.