උඩවලව අලි පැටියා මිය යාම 'අබිරහසක්'

  • 29 ජූලි 2014

යහපත් සෞඛ්‍යයෙන් උඩවලව ඇත් අතුරු සෙවනට භාර දුන් අලි පැටවෙකු සඳුදා මිය යාම අබිරහසක් බව වනජීවි දෙපාර්තමේන්තුව පවසයි.

අවුරුදු තුන හමාරක පමණ වයසැති අලි පැටවා මීට මාස දෙකකට පමණ ඉහතදී ඇත් අතුරු සෙවනට භාර දී තිබෙන්නේ අධිකරණ නියෝගයකින් අනතුරුවයි.

මැයි පස් වනදා ප්‍රතිකාර ලබා දීම සඳහා පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයට ගෙන ගිය මරණයට පත් අලි පැටියා, ව්‍යාජ බලපත්‍රයක් භාවිත කර ළඟ තබා ගැනීමේ චෝදනා මත අධිකරණ නියෝගයකට අනුව බලපත්‍ර කරු රක්‍ෂිත බන්ධනාගාර ගත කර, මැයි මස නව වැනි දින අලි පැටියා උඩවලව ඇත් අතුරු සෙවනට යවනු ලැබීය.

වනජීවි දෙපාර්තමේන්තුවේ ලුණුගම්වෙහෙර පිහිටි දකුණු කලාප කාර්යාල භූමියේ දෙසතියක කාලයක් නිරෝගී තත්වයෙන් පසු වූ මෙම අලි පැටියා, ඇත් අතුරු සෙවනට ගෙන ගොස් මාස දෙකකට පසු මෙසේ මිය ගොස් තිබේ.

නඩු විභාග නවතී

අධිකරණ නඩුවලට සම්බන්ධ අලි පැටවුන් මීට පෙර අවස්ථාවලදීත් ඇත් අතුරු සෙවනේ සිටියදී මියගොස් ඇති බව නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටි වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසුවේය.

එම පැටවුන් මියයාමෙන් අනතුරුව ඔවුන්ගේ අයිතිය සම්බන්ධ අධිකරණ විමර්ශන නතර වූ බවද ඔහු පැවසීය.

නිලධාරීන් කරන මේ චෝදනා පිළිබඳව සංදේශය කළ විමසීමකදී ඇත් අතුරු සෙවනේ නිලධාරීන් පැවසුවේ, මාධ්‍යවලට අදහස් දැක්වීමට තමන්ට අයිතියක් නැති බවයි.

වනජීවී කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත් වියමුනි සොයිසා ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

අඩි හතරක් පමණ උසැති මිය ගිය අලි පැටියාගේ වයස අවුරුදු තුන හමාරක් හතරක් පමණ විය හැකි බව වනජීවි දෙපාර්තමේන්තුවේ විශ්වාසයයි.

නමුත් අලි පැටියාගේ නීත්‍යානුකූල අයිතිය සනාථ කරන බලපත්‍රයක් ඇතැයි පවසන හොරණ වරුණ කන්නන්ගර කියා සිටියේ අලි පැටියාගේ වයස අවුරුදු අටක් හෝ නවයක් බවයි.

අවුරුදු හතක කාලයක සිට අලි පැටියා ඔහු සන්තකයේ සිටි බව කියා සිටි වරුණ කන්නන්ගර, අලි පැටියා දින ගණනකින් ආහාර ගත් බවක් පෙනෙන්නට නැති බවත් හදිසි මරණ පරීක්ෂණය සඳහා එහි ගොස් සිටි අවස්ථාවේදී පැවසුවේය.

මහා සංඝරත්නය වැඩමවා ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව අද අඟහරුවාදා අලි පැටියාගේ අවසාන කටයුතු සිදු විය.