අලුත්ගම: සැකකරුවන් නිදහස් කළේ 'නීත්‍යානුකූලව'

29 ජූලි 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 18:45 GMT

'දහතුන් දෙනෙකු දෙනෙකු නිදහස් කිරීම කියන්නේ මෙම චෝදනාවේ එක් කොටසක් පමණයි'

අලුත්ගම ගැටුමට සම්බන්ධ සැකකරුවන් දහතුන් දෙනකු පොලිස් ඇප මත නිදහස් කිරීමට පොලිස් ස්ථානාධිපතිවරයාට බලය තිබෙන බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ බීබීසී ඒ බව කියා සිටියේ, අලුත්ගම ගැටුම සිදු වූ දින පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දහතුන් දෙනෙකු නිදහස් කිරීම පිළිබඳව බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේ.

ත්‍රස්තවාදී කටයුතු සඳහා අනුබල දුන් බැවින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ජේ එස් තිස්සනායගම් මාධ්‍යවේදියා අත්අඩංගුවට ගැනුණ නමුත් අලුත්ගම සිදුවීම ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට අදාළ නොවන බවද ඔහු පැවසීය.

අලුත්ගම ගැටුම හටගත් දින පැවැත්වුන ප්‍රසිද්ධ රැස්වීමේදී ජාතිවාදයට සහ ආගම්වාදයට අනුබල දුන් බවට චෝදනා ලබන පුද්ගලයන් අත්අඩංගුවට නොගන්නේ මන්දැයි කළ විමසීමට ප්‍රතිචාරය පළ කරමින් ඔහු කියා සිටියේ, සාමාන්‍ය නීතිය යටතේ පුද්ගලයෙකු යම් ප්‍රකාශයක් කළ පමණින් අත්අඩංගුවට ගත නොහැකි බවයි.

නියෝජ්‍ය පොලිස්පතිට 'තර්ජන'

"දහතුන් දෙනෙකු දෙනෙකු නිදහස් කිරීම කියන්නේ මෙම චෝදනාවේ එක් කොටසක් පමණයි. අදාළ වරද සංඥේය වරදක් නම් එහිදී පොලිස් ස්ථානාධිපතිවරයාට සැකකරුවන් නිදහස් කිරීමේ අභිමතයක් පවතිනවා,"යැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

නියෝජ්‍ය පොලිස්පතිට එරෙහි චෝදනා 'සනාථ වෙලා නෑ'

එහෙත් සංඥේය වරදක් සම්බන්ධයෙන් සැකකරුවන් නිදහස් කිරීමට හෝ ඇප දීමට පොලිස් ස්ථානාධිපතිවරයෙකුට කිසිදු අභිමතයක් නොමැති බව සංදේශය කළ විමසීමකදී නීතිවේදීන් කිහිප දෙනකුම සඳහන් කළහ.

අධිකරණ වරෙන්තුවක් නොමැතිව පුද්ගලයෙකු අත්අඩංගුවට ගත හැකි ගනයේ වරදක් සංඥේය වරදක් ලෙස නිර්වචනය කෙරෙන බවයි, ඔවුන් පවසන්නේ.

මේ අතර පසුගිය ජුනි තිස් වැනි දින කළුතර ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති වී ඉන්ද්‍රන්ට එරෙහිව කැඳවා තිබූ මූලික පරීක්ෂණය නවතා දැමුවේ, ඔහු රාජකාරි පැහැර හැරීමක් සිදු කර නොමැති බව ඉදිරිපත් වූ සාක්ෂි සහ කට උත්තරවලින් පෙනී ගිය නිසා බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පැවසීය.

"පොලිස් විනය සංග්‍රහයට අනුව ඉහළ නියෝගයකට අදාළව කටයුතු කිරීමට අපොහොසත් වූ බවට තමයි මූලික පරීක්ෂණය සිදු කළේ. නමුත් මූලික පරීක්ෂණයේදී අනාවරණය වුනා ඔහුට එවැනි චෝදනාවක් නැගීමට නොහැකි බව," යනුවෙන්ද ඔහු පැවසීය.

සැකකරුවන් 13 දෙනා නිදහස් කරන මෙන් ඉහල නිලධාරීන් ලබා දුන් නියෝග ඉටු නොකිරීම විනය පරීක්ෂණයක් පැවැත්වීමට හේතුව බවට ජනමාධ්‍ය වාර්තා කොට තිබුණි.

එහෙත් තමන් එවැනි නියෝගයක් නොකළ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න සංදේශය කළ විමසීමකදී කියා සිටියේය.

මේ අතර නියෝජ්‍ය පොලිස්පති ඉන්ද්‍රන්ට තරජන එල්ල වී ඇති බවක් තමන්ට වාර්තා වී නැති බවද නීතිඥ අජිත් රෝහණ සඳහන් කළේය.