ළමා දූෂකයන්ට එරෙහි උතුරේ මව්වරුන් වීදියේ

අවසාන යාවත්කාලීන කිරීම :  2014 ජූලි 25 සිකුරාදා - 17:34 GMT

බාල වයසේ ළමුන් ලිංගික අතවර වලට යොදා ගනු ලබන්නන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම සඳහා අද, සිකුරාදා යාපනය ළමා අධිකරණය ඉදිරියේ කාන්තා උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කෙරෙමින් තිබුණි.

පසුගිය කාල සීමාව ඇතුළත එවැනි ළමා ලිංගික අපචාර කීපයක් ම වාර්තා කෙරුණත් අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට බලධාරීන් අසමත් වූ බවයි කාන්තා උද්ඝෝෂකයන් කියා සිටියේ.

යාපනයේ එම විරෝධතා ව්‍යාපාරයට සීයකට අධික කාන්තා ක්‍රියාධාරිනියන් එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

කරෙයිනගර් පළාතේ බාල වයස්කාර දැරියන් දෙදෙනකු දූෂණය කරන ලද බවට පසුගියදා පැමිණිලි කෙරුණ අතර ඒ සම්බන්ධයෙන් චෝදනා කෙරුනේ එම දැරියන් වෙසෙන ගම්මානය අසල පිහිටි නාවික හමුදා කඳවුරක භටයන් කීප දෙනකුටයි.

එහෙත් එම ළමා ලිංගික අපචාර වලට වග කිව යුතු අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට බලධාරීන් මෙතෙක් අසමත්ව ඇත.

බැසිල් ප්‍රනාන්දු

'ළමා දූෂකයන් හඳුනා නොගන්නේ බිය නිසා' - ආසියානු මානව හිමිකම් කොමිසම

00:03:52

යුද හමුදාවේ ධෛර්යය පිරිහෙතැයි සලකමින් ඔවුන්ට එරෙහිව විනයානුකූල පියවර ගැනීමට බලධාරීන් නොපෙළඹෙන බව නීතිඥ බැසිල් ප්‍රනාන්දු පවසයි.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

ශ්‍රී ලංකාවේ යුද හමුදා භටයන් විසින් සිදු කරනු ලබන දූෂණ අපචාර වලට එරෙහිව පියවර නොගැනීමට හේතුව එමගින් හමුදාවේ චිත්ත ධෛර්යය පිරිහෙන්නේ යයි රජයේ බලධාරීන් සිතන නිසා යයි ආසියානු මානව හිමිකම් කොමිසමේ විධායක අධ්‍යක්ෂ නීතිඥ බැසිල් ප්‍රනාන්දු පෙන්වා දෙයි.

පවුල් ජීවිතයෙන් ඈත් වූ යුද හමුදාවක් ජනාවාශ මැද රඳවනු ලැබීමෙන් එවැනි අපචාර සිදු වීම නොවැලක්විය හැකි බවයි, ආසියානු මානව හිමිකම් කොමිසමේ විධායක අධ්‍යක්ෂවරයා පවසන්නේ.

ඔහු එම අදහස් පළ කළේ ළමා දූෂණවලට එරෙහිව යාපනයේ කාන්තාවන් සිකුරාදා ගෙන ගිය උද්ඝෝෂණ ව්‍යාපාරය පිළිබඳව බීබීසී සංදේශය සමඟ පැවත් වූ සාකච්ඡාවකදී.

දෙමව්පියන්ට ජීවිකා වෘත්තියේ නිරත වීමට සිදුවීම නිසා දරුවන් වෙනුවෙන් ම කැප වී සිටීමට නොහැකි වීමෙන් දරුවන් දූෂකයන්ට ගොදුරු වෙන අතර, ආරක්ෂක අංශ කෙරේ පවතින භීතිය නිසා අපරාධ කරුවන් හඳුනා ගැනීම සිදු නොකෙරෙන බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.

ප්‍රදේශයක ජනගහනයට වඩා අධික අසීමිත ප්‍රතිශතයකින් ආරක්ෂක භටයන් සැරිසරණ විට ජනතාව අසරණ වෙන බව පවසන ආසියානු මානව හිමිකම් කොමිසමේ විධායක අධ්‍යක්ෂ නීතිඥ බැසිල් ප්‍රනාන්දු , ශ්‍රී ලංකාවේ නීතිය සහ සාමය කඩා වැටී ඇති තරම අනුව පවතින තත්වයෙන් ගොඩ ඒමක් සිතා ගැනීම පවා අපහසු බවයි සඳහන් කළේ.

ළමාරක්ෂණ අධිකාරිය

මේ අතර සංදේශයට ප්‍රකාශයක් කරන ජාතික ළමාරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතිඥ අනෝමා දිසානායක කියා සිටියේ, ළමා අපචාර වලට චෝදනා ලබන්නන් මුදා හැරීම සඳහා තම සංවිධානය කෙරේ කිසිදු පිටස්තර බලපෑමක් සිදු නොකෙරෙන බවයි.

පොලිසියට එවැනි බලපෑම් එල්ල වෙන බවට කිසිවකු චෝදනා කරන්නේ නම් ඊට එරෙහිව පියවර ගැනීමේ ක්‍රමවේදයක් පවතින බවත් ජාතික ළමාරක්ෂණ අධිකාරියේ සභාපතිනිය පෙන්වා දෙයි.

පසුගිය දා ‘කරෙයිනගර්’ ප්‍රදේශයේ ළමා දූෂණ සම්බන්ධයෙන් නාවික හමුදා භටයන්ට චෝදනා කෙරුණත් අදාළ කඳවුරේ නිරත භටයන් කිසිවකු හඳුනා ගැනීමට දූෂණයට ගොදුරු වූ දැරියන් අසමත් වූ බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පවසන්නේ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.