සංක්‍රමණිකයන් භාර ගැනීම 'ඉන්දියාව ප්‍රතික්ෂේප කරලා'

අවසාන යාවත්කාලීන කිරීම :  2014 ජූලි 25 සිකුරාදා - 10:19 GMT

සංක්‍රමණිකයන් භාර ගැනීම 'ඉන්දියාව ප්‍රතික්ෂේප කරලා'

00:01:04

ජාත්‍යන්තර මුහුදේ රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් පිරිස ඕස්ට්‍රේලියාවට රැගෙන ඒමට බලධාරීන්ට සිදු වූයේ ඉන්දියාව ඔවුන් භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් බව ක්‍රියාධරයෝ පවසති.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

ඕස්ට්‍රේලියාව ආසන්නයේ ජාත්‍යන්තර මුහුදේ නෞකාවක රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයන් ඇතුළු සංක්‍රමණිකයන් පිරිස ඕස්ට්‍රේලියාවට රැගෙන ඒමට බලධාරීන්ට සිදු වූයේ ඉන්දියාව ඔවුන් භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් බව මානව හිමිකම් ක්‍රියාධරයෝ පවසති.

නෞකාවේ සිටින සංක්‍රමණිකයන් 157 දෙනා ගොඩබිමට රැගෙන විත් රඳවා ගන්නා බව සංක්‍රමණික කටයුතු භාර අමාත්‍ය ස්කොට් මොරිසන් සිකුරාදා නිවේදනය කළේ ඉන්දියාවේ සංචාරයකින් අනතුරුවයි.

හෙට රාත්‍රිය වන විට සංක්‍රමණිකයන් සියලු දෙනාම රැඳවුම් කඳවුරකට රැගෙන එනු ඇතැයි අපේක්ෂා කරන බවයි, අනාථයන් සඳහා වූ ක්‍රියාකාරී සන්ධානයේ ඉයන් රින්ටූල් බීබීසී සංදේශයට කියා සිටියේ.

"මේකට ප්‍රධාන හේතු දෙකක් තියෙනව: එකක් තමයි, ඕස්ට්‍රේලියාවේ මහාධිකරණය," යනුවෙන් ඔහු සඳහන් කළේ ඕස්ට්‍රේලියානු ආණ්ඩුවේ මේ හදිසි ප්‍රතිපත්ති වෙනසට හේතුව කවරක් දැයි සංදේශය සරෝජ් පතිරණ කළ විමසීමකදී.

"ආණ්ඩුව මේ දේශපාලන රැකවරණ පතන්නන් පිරිස ජාත්‍යන්තර මුහුදේදී අත්අඩංගුවට අරගෙන රඳවා ගැනීමේදී නීත්‍යානුකූලව ක්‍රියා කළේද යන්න ගැන කරුණු ගණනාවක් විමසන්න තිබෙන බව මහාධිකරණය කිවුවා," බවයි ඉයන් රින්ටූල් පවසන්නේ.

'හේතු දෙකක්'

නෞකාවේ සිටින දේශපාලන රැකවරණ පතන්නගේ අනන්‍යතාවය පරීක්ෂා කිරීමට ඉන්දීය තානාපති නිලධාරීන්ට අවසර දෙන බව පවසන අමාත්‍ය ස්කොට් මොරිසන්, එහි ඉන්දීය පුරවැසියන් සිටින්නේ නම් ඔවුන් ඉන්දියාවට භාරදීමට කටයුතු කිරීමට ඉඩ තිබෙන බවද පැවසීය.

ඉන්දියාව ඉන්දීය පුරවැසියන් නොවන අයත් භාර ගැනීමට ඉඩ තිබෙන නමුත් කණ්ඩායමේ කිසිවෙකුට ඕස්ට්‍රේලියාවේ පදිංචිවීමට අවසර නොදෙන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

කෙසේ නමුත් ඕස්ට්‍රේලියානු ආණ්ඩුවට සිය දැඩි ස්ථාවරයෙන් පසුබෑමට සිදු වී ඇති හැඩක් පැහැදිලිවම දක්නට ලැබෙන බවයි, ඉයන් රින්ටූල් සංදේශයට කියා සිටියේ.

"අනෙක් හේතුව තමයි ඉන්දියාවේ ආණ්ඩුව ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුවවට අවශ්‍ය වුන දේ ලබා නොදීම. ඕස්ට්‍රේලියාවට අවශ්‍ය වුනේ මේ බෝට්ටුව ආයෙත් ඉන්දියාවට යවන්න. ඒත් ඉන්දියාව ඔවුන් භාර ගන්න එකඟ නොවුන බව පැහැදිලියි," බවයි මානව හිමිකම් ක්‍රියාධරයා පවසන්නේ.

අනවසරයෙන් ඕස්ට්‍රේලියාවට ලඟා වන සංක්‍රමණිකයන්ට කිසිදු ලෙසකින් සිය රටට ඇතුළුවීමට අවසර නොදෙන බව අවධාරණය කළ ඕස්ට්‍රේලියාව ඔවුන් නාවුරු දූපත ඇතුළු රටින් පිට රැඳවුම් කඳවුරුවල රඳවා තැබීමට කටයුතු කළේය.

මේ අතර මින් සති කිහිපයකට ඉහතදී ශ්‍රී ලාංකිකයන් 41ක් රැගත් බෝට්ටුවක් ජාත්‍යන්තර මුහුදේදී අත්අඩංගුවට ගත් ඕස්ට්‍රේලියාව ඔවුන් යළි ශ්‍රී ලංකාවට භාර දුන්නේය.

විශේෂයෙන්ම එම සිදුවීමෙන් අනතුරුව හටගත් ජාත්‍යන්තර ආන්දෝලනය හමුවේ සිය දැඩි ස්ථාවරයෙන් පසුබෑමට ඕස්ට්‍රේලියානු ආණ්ඩුවට සිදු වී ඇති බවයි, ඉයන් රින්ටූල් පවසන්නේ.

සංක්‍රමණිකයන් පිරිස යළිත් ශ්‍රී ලංකාවට භාර නොදෙන බවට පසුගිය සතියේ අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් දුන් ඕස්ට්‍රේලියානු ආණ්ඩුව, ඔවුන් වෙනත් රටකට පිටත් කරනු ලබන්නේ නම් ඉන් පැය 72 කට පෙර ඔවුන්ගේ නීතිවේදීන්ට ඒ බව දැනුම් දෙන බවටත් අධිකරණය හමුවේ ප්‍රතිඥා දුන්නේය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.