‘මයිලට්ටී’ගම යළි උරුමකරුවන්ට

අවසාන යාවත්කාලීන කිරීම :  2014 ජූලි 24 බ්‍රහස්පතින්දා - 18:01 GMT

යුද හමුදාව විසින් ඉඩම් පවරා ගනු ලැබීමට එරෙහි යාපනය ජනතාව.

යාපනයේ අධිආරක්ෂිත කලාපයේ කොටසක් ඉවත් කිරීමට යුද හමුදාව පියවර ගෙන ඇති හෙයින් වලිකාමම් උතුරු පළාතේ ‘මයිලට්ටි’ ගම්මානය ආපසු එය අයත් පැරණි ගම්වැසියන් වෙත පැවරීමට යුද හමුදාව තීරණය කොට ඇත.

ඒ අනුව යාපනයේ ‘මයිලට්ටි’ ගම්මානයේ උරුමකරුවන් හයසීයකට පමණ අද, බ්‍රහස්පතින්දා (24) තම ගම්මානයේ කෝවිල් කරා ගොස් පුද පූජා පැවැත්වීමට අවස්ථාව හිමි වූ බව ගම්වැසියෝ කියා සිටිති.

මුළු ගම ආපසු ලැබෙන දිනය යුද හමුදාව ප්‍රකාශ නොකළත්, ඉතා ඉක්මනින් තමන්ට එහි යාමට හැකි වෙතැයි ගම්වාසීහු විශ්වාසය පළ කරති.

යුද්ධය ආරම්භ වූ කාලයේදී ‘මයිලට්ටි’ ගමේ අක්කර 512 ක් පමණ තමන්ට අයත්ව තිබූ බව පවසන ගම් වැසියෝ එහි නවසීයක් පමණ පවුල් විවිධ රැකියා කරමින් සතුටින් ජීවත් වූ බවයි සිහිපත් කළේ.

කෝවිලේ පුද පූජා

යුද්ධයේ විනාශය

අතීතයේ සිය පාරම්පරික නිවහනේ තිබුණ කෝවිල්,පොදු ගොඩනැගිලි,වගාබිම් ඇතුළු කිසිවක් අද එහි උරුමකරුවන්ට දැක ගැනීමට නොහැකි වූයේ, ඒවා සියල්ල යුද්ධයෙන් විනාශයට පත්ව තිබීම නිසා යැයි ‘මයිලට්ටී’ ගම්වාසීහු බීබීසියට කියා සිටියහ.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය පසුගිය බදාදා කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී සඳහන් කළේ යුද සමයේදී හමුදාව භාවිතයට ගත් අක්කර විසිහය දහසකට අධික වූ ඉඩම් ප්‍රමාණය මේවන විට අක්කර 6500 ක මට්ටමට අඩු කොට ඇති බවයි.

රටේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය නොවන ඉඩම් ප්‍රමාණය ඒවායෙහි අයිතිකරුවන්ට බාරදෙන අතර ,තවදුරටත් අවශ්‍ය වන ඉඩම් යුද හමුදාව නීත්‍යානුකූලව ලබාගෙන එම ඉඩම් අයිතිකරුවන්ට වන්දි මුදල් ලබා දීමට තීරණය කොට ඇති බවයි, යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය වැඩිදුරටත් සඳහන් කළේ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.