ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

වැලිවේරිය: ගම්වාසීන් 'මුලාකිරීමේ වෑයමක්'

23 ජූලි 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 11:54 GMT

මතභේදයට තුඩු දී තිබෙන රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාව වසා දමා ඇතැයි රජය ප්‍රකාශ කරද්දී එය තවදුරටත් ක්‍රියාත්මක වන බවට පෙත්සම්කාර පාර්ශවය අධිකරණයට දැනුම් දුන්නේය.

කර්මාන්තශාලාවට එරෙහිව ගොනු කොට තිබෙන පෙත්සම කැඳවූ අවස්ථාවේ කරුණු දැක්වූ රජයේ නීතිවේදියා, කර්මාන්ත ශාලාව වසා දමා එය බියගම ආයෝජන ප්‍රවර්ධන කලාපය වෙතට ගෙන ගොස් ඇති බව කියා සිටියේය.

කෙසේ නමුත්, කර්මාන්තශාලාවේ පාලකයන් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීන් කියා සිටියේ එය තුන්වන පාර්ශවයකට විකිණීමට පියවර ගත් බවයි.

එම ප්‍රකාශය සත්‍ය නොවන බවත්, ප්‍රදේශයේ පානීය ජලය දූෂණය කරන බවට චෝදනා ලබා තිබෙන කර්මාන්තශාලාව තව දුරටත් ක්‍රියාත්මක වන බවත් පෙත්සම් කරුවන් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සත්‍ය තත්වය පැහැදිලි කර ගැනීම සඳහා අභියාචනාධිකරණය විසින් නඩු විභාගය කල් දමනු ලැබූ බව, පෙත්සම්කාර පාර්ශවයේ නීතිවේදී රවීන්ද්‍රනාත් දාබරේ සංදේශයට කියා සිටියේය.

ජලය දූෂණය කරන කර්මාන්තශාලාව ඉවත් කරන මෙන් ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති

මෙය ගම්වාසීන් මුලාකිරීම සඳහා රජය සහ කර්මාන්ත ශාලා පාර්ශවය එක්ව අටවා ගත් උගුලක් බවයි, පෙත්සම ගොනුකළ සියනෑ ජලය සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු ප්‍රමිත හෙට්ටිආරච්චි මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ.

"මේක ගම්වාසින් රැවටීමේ උත්සාහයක් බවයි අපේ මතය.කර්මාන්ත ශාලාව විකුණා ඇති බවට අධිකරණය හමුවේ ප්‍රකාශ වුනා. අලුත් හිමිකරුවන් නැවතත් පැරණි කර්මාන්තයම ආරම්භ කළහොත් පරිසර ප්‍රශ්නය නැවතත් මතුවන්න පුළුවන්," යනුවෙන් ප්‍රකාශ කළ ප්‍රමිත හෙට්ටිආරච්චි ජල දූෂණයට බලපාන කර්මාන්ත අදාළ ස්ථානයේ ස්ථාපිත නොකරන බවට රජය ජනතාවට සහතිකයක් ලබා දිය යුතු බවද කියා සිටියේය.

නඩු විභාගය සැප්තැම්බර් මස 10 වැනි දිනට කල් දැමූ අධිකරණය එදිනට මෙම කර්මාන්ත ශාලාව පිළිබඳ සැබෑ තත්වය දැනුම් දෙන මෙන් රජයේ නීතිවේදියාට නියම කළේය.