ඊශ්‍රායලය සමඟ 'සම්බන්ධතා අත් හරින්න'

අවසාන යාවත්කාලීන කිරීම :  2014 ජූලි 22 අඟහරුවාදා - 17:46 GMT

පලස්තීන ජනතාව පෙලන ඊශ්‍රායලය සමඟ 'සම්බන්ධතා අත් හරින්න'

පලස්තීන ජනතාව පීඩාවට පත් කරන ඊශ්‍රායලය සමඟ පවත්වන සියලු සම්බන්ධතා අත් හරින මෙන් ශ්‍රී ලංකා පලස්තීන මිත්‍රත්ව සංවිධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකා පලස්තීන මිත්‍රත්ව සංවිධානය විසින් එම යෝජනාව සම්මත කරනු ලැබුවේ, ගාසා තීරයේ පවතින තත්වය සාකච්ඡා කිරීම පිණිස අඟහරුවාදා කොළඹ දී සංවිධානය කොට තිබූ රැස්වීමකදී.

සමුළුවේ ආරාධිත දේශනය පැවැත්වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය දයාන් ජයතිලක අදහස් දක්වමින්, ජනාධිපතිවරයා පලස්තීන හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමය කරන නමුත් ඔහුගේ යටතේ පවතින ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යංශ ඊශ්‍රායල් අනුකරණ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම කනගාටුදායක බව කියා සිටියේය.

යුද්ධයෙන් පසුව සංහිඳියා ක්‍රියාදාමය සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ උපදෙස් ලබා ගැනීම හේතුවෙන් කොටි සංවිධානය යලි හිස එසවීමේ වාතාවරණයක් මතු වී තිබෙන බවත් ඔහු පැවසීය.

මුස්ලිම් විරෝධය

වර්තමානයේ ශ්‍රී ලංකාවේ මතු වී තිබෙන මුස්ලිම් විරෝධී රැල්ල පිටුපසත් ඊශ්‍රායලයේ බලපෑමක් තිබෙන බවද ආචාර්ය දයාන් ජයතිලක වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් විරෝධී රැල්ල පිටුපසත් 'ඊශ්‍රායලයේ බලපෑමක්'

ශ්‍රී ලංකා පලස්තීන සහයෝගිතා සංවිධානයේ සම සභාපති ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න අදහස් දක්වමින්, පලස්තීනයට සහාය පළ කිරීමේ රජයේ ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බව කියා සිටියේය.

සමුළුව ඇමතූ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති සුහයිර් අමදුල්ලා, ඊශ්‍රායලය විසින් පලස්තීන ජනතාව වෙත එල්ල කරන අමානුෂික ප්‍රහාර වහා නතර කළ යුතු බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාව ඇතුළු මිත්‍ර රටවල් ඒ සදහා බලපෑම් කළ යුතු බවද තානාපතිවරයා ඉල්ලා සිටියේය.

රැස්වීම අවසානයේදී සභාවේ සිටි පුද්ගලයකු පලස්තීනය පිළිබඳව රජයේ ස්ථාවරය විමසමින් අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න වෙත ප්‍රශ්න කිහිපයක් එල්ල කිරීමත් සමඟම සභාවේ නොසන්සුන් තත්වයක් උද්ගත විය.

එම ප්‍රශ්නවලට පිළිතුරු දීම අමාත්‍ය අතාවුද සෙනවිරත්න ප්‍රතික්ෂේප කළේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.