යාපනය: නව හැවිරිදි දැරියකුත් 'දූෂණය කරලා'

අවසාන යාවත්කාලීන කිරීම :  2014 ජූලි 21 සඳුදා - 13:06 GMT

සැකකරුවන් අත් අඩංගුවට නොගැනීම ගැන ප්‍රදේශවාසීන්ගේ විරෝධය

නාවික හමුදා සෙබලකු විසින් නව හැවිරිදි පාසල් දැරියක් දූෂණය කොට ඇති බවට තොරතුරු ලැබී තිබෙන බව යාපනයේ කයිට්ස් පොලීසිය පවසයි.

එම දැරිය දූෂණය කිරීම පිළිබඳව වාර්තා වන්නේ, යාපනයේ කරෙයිනගර් ඌරි පළාතේදී එකොලොස් හැවිරිදි පාසල් දැරියක් නාවික හමුදාවේ සෙබලකු විසින් දූෂණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ පවත්වමින් සිටින අතරවාරයේදී.

මීට කළින් දූෂණය වූ බව පැවසෙන දැරියගේ ඥාති සොහොයුරියක වන නව හැවිරිදි දැරිය සඳුදා කයිට්ස් අධිකරණයට ඉදිරිපත් කළ බවත් පොලීසිය සඳහන් කළේය.

කෙසේ නමුත් එම දැරිය දූෂණයට ලක් වී තිබෙන බව මෙතෙක් වෛද්‍ය වාර්තාවක් මගින් හෙළිදරවු වී නොමැති බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පවසන්නේ.

'පුදුම සහගතයි'

නව හැවිරිදි දැරියකට යමක් නිවැරදිව ප්‍රකාශ කිරීමට ඇති හැකියාව අඩු බැවින් පොලිස් නිලධාරීන්ට සහ පිස්කල් නිලධාරීන්ට දැරිය පෙන්වන ස්ථාන වෙත ගොස් සවිස්තර වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරණ මෙන් යාපනය ළමා අධිකරණයේ විනිසුරුවරයා නියෝග කොට තිබේ.

එම වාර්තාව ලැබුණු පසුව මේ සම්බන්ධයෙන් වැඩිදුර විභාගය ආරම්භ කිරීමට අධිකරණය තීරණය කළේය.

එකොලොස් හැවිරිදි පාසල් දැරිය දූෂණය කළ නාවික හමුදා සෙබලා අත් අඩංගුවට ගෙන නැත්තේ මන්දැයි විමසූ විට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ එම දැරිය ඔහුගේ හැඩරුව පමණක් ප්‍රකාශ කිරීම හේතුවෙන් එවැනි තත්ත්වයක් උද්ගත වී තිබෙන බවයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ නාවික හමුදා සෙබලුන් හත් දෙනකු ඇප මත නිදහස් කරණ මෙන් යාපනය දිසා විනිසුරුවරයා නියෝග කළ නමුත් ඔවුන් වෙණුවෙන් ඇප ඉදිරිපත් කිරීමේ ප්‍රමාදයක් උද්ගත වූ බැවින් ඔවුන් රිමාන්ඩ් භාරයේ තැබීමට විනිසුරුවරයා නියෝග කළ බවත් නීතිඥ අජිත් රෝහණ පැවසීය.

දූෂණයට ලක් වූ දැරියන් දෙදෙනා වාසය කරණ නිවෙස්වලට ඉතාම ආසන්නයේ පිහිටි කුඩා නාවික හමුදා කඳවුරක සෙබලුන් දෙදෙනකු මෙවැනි සාපරාධී ක්‍රියාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට පොලීසියට හෝ නාවික හමුදාවට නොහැකිවීම පුදුම සහගත තත්ත්වයක් බව, දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් සරවනබවන් ප්‍රකාශ කරයි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.