'රට අනතුරක' - ඩිව් ගුණසේකර

අවසාන යාවත්කාලීන කිරීම :  2014 ජූලි 21 සඳුදා - 17:57 GMT

ශ්‍රී ලංකාවේ රජයේ ආදායම් තත්වය බරපතළ මට්ටමින් බිඳ වැටී ඇතැයි ජ්‍යෙෂ්ඨ ඇමති ඩිව් ගුණසේකර පවසයි.

ඇමතිවරයා එම ප්‍රකාශය කළේ ජුලි විසිපස් වෙනි දින රත්නපුරයේ දී ආරම්භ කෙරෙන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ විසි වැනි සම්මේලනයට දින කීපයක් තිබිය දී කොළඹ පැවැත් වූ මාධ්‍ය හමුවක දී.

රජයේ ආදායම දල දේශීය නිෂ්පාදනයෙන් 12% ක් පමණක් යයි කියා සිටි ඇමතිවරයා එමගින් ඉස්මතු කෙරෙන්නේ මූල්‍ය සහ බදු පිළිවෙතේ වෙනසක් සිදු කළ යුතුව ඇති බව යයි ද පෙන්වා දුන්නේය.

“බණ්ඩාරනායක මැතිනිය ආණ්ඩුව භාර දෙන කොට දල දේශීය නිෂ්පාදනයෙන් රජයේ ආදායම සීයට විසි හතරයි. අද එය සීයට දොළහයි” ඩිව් ගුණසේකර ඇමතිවරයා පවසයි.

එම පහත වැටීම කෙලින් ම බලපාන්නේ පොදු ජනතාවට වන බවයි ජ්‍යෙෂ්ට ඇමතිවරයා සඳහන් කළේ.

බදු නොගෙවෙන මැද පන්තියක්

මැද පන්තියේ පාරිභෝජන මට්ටම

රට තුළ අලුතින් හැඩ ගැසෙමින් ඇති සමාජ පන්ති රටාවක් ගැන අදහස් පළ කළ ඩිව් ගුණසේකර ඇමතිවරයා, බදු නො ගෙවන සුඛෝපභෝගී ජීවිත ගත කරන මධ්‍යම පන්තියක් මෙන් ම මිල දී ගැනීමේ ක්‍රය ශක්තිය හීන අති බහුතර ජනකායක් ද සමාජය තුළ පීඩාවට පත්ව සිටින බවයි සඳහන් කළේ.

එම ජනතාව වෙනුවෙන් කිසිවකු හඬක් නො නගන බව ඇමතිවරයාගේ අදහසයි.

ඉහත කී මාධ්‍ය හමුවේ දී විධායක ජනාධිපති ආණ්ඩු ක්‍රමය ගැන අදහස් දැක් වූ ඇමතිවරයා තම පක්ෂයේ දහවැනි සම්මේලනයේ පටන් ජනාධිපති ආණ්ඩුක්‍රමය ගැන දැක් වූ ස්ථාවරයේ වෙනසක් නැති බවත්, ආචාර්ය එන්.එම්. පෙරේරා ඇතුළු පැරණි වමේ නායකයන් එම ආණ්ඩු ක්‍රමයේ බිහිසුණු භාවය ගැන කල් තබාම අනතුරු ඇඟවීමක් කළ ආකාරයත් සිහිපත් කළේය.

‘එය හඳුන්වා දුන් එක්සත් ජාතික පක්ෂයේ ද සහයෝගය ලැබෙන හෙයින් විධායක ජනාධිපති ආණ්ඩු ක්‍රමය අහෝසි කිරීමට අවශ්‍ය තුනෙන් දෙකක පාර්ලිමේන්තු අනුමැතිය නොව හයෙන් පහක අනුමැතිය ලබා ගැනීමේ දුෂ්කරතාවයක් දැන් නැතැයි’ ද ඩිව් ගුණසේකර ඇමතිවරයා පවසයි.

ජාතික ප්‍රශ්නය

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීමේ දී දේශපාලන භේද නො තකා සියලු දේශපාලන කණ්ඩායම් විසඳුමක් සඳහා යොමු විය යුතු බවයි ඇමතිවරයා පවසන්නේ.

“ජාතික ප්‍රශ්නයට විසඳුමක් සෙවීමේ දී ඊට දායක වෙන කණ්ඩායම් සමාජවාදීද,ධනවාදීද,ප්‍රතිගාමීද ,ප්‍රගතිශීලීද කියල අපි සලකන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය ගත්තම ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකයි, ප්‍රශ්නයට අදාළ වන්නා වූ දමිළ හෝ මුස්ලිම් පක්ෂයි ඊට සම්බන්ධ වීම අවශ්‍යයි” ජ්‍යෙෂ්ඨ ඇමති ඩිව් ගුණසේකර කියා සිටියි.

වමේ පක්ෂත් ‘වම’ හැටියට ඊට මැදිහත් වෙන අතර එසේ නැතිව ජාතික ප්‍රශ්නයට විසඳුමක් සොයා ගත නො හැකි බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.