නීතිඥ සංගම් සභාපති: වාහනවල 'හොර අංක තහඩු'

21 ජූලි 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 17:38 GMT

තමා පසුපස ලුහු බඳින යතුරු පැදි සහ ත්‍රීවීලර් රථවල අංක තහඩු ව්‍යාජ ඒවා බව අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිවේදී උපුල් ජයසූරිය ප්‍රකාශ කරයි.

දහතුන අවාසනාවන්ත අංකයක් ලෙස සැලකෙන බැවින් අංක එකතුවෙන් දහතුන සැකසෙන අංක තහඩු මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් නොකරන බව තමන්ට දැන ගන්නට ලැබුන බවයි, නීතිඥ උපුල් ජයසූරීය සංදේශයට කියා සිටියේ.

එහෙත් තමා පසුපස ලුහු බඳින යතුරු පැදි දෙකේම අංකවල එකතුව දහතුන බව පවසන ඔහු, මෙය ඉතා භයානක වාතාවරණයක් බවත් පැවසීය.

'අංක දහතුන එන නොම්මර තහඩු ගහ ගෙන ජනාධිපති මන්දිරය අවටත් සැරිසරන්නේ කොහොමද?'

"එහෙම නම් එකතුව අංක දහතුන එන නොම්මර තහඩු ගහ ගෙන ජනාධිපති මන්දිරය අවටත්, ජනාධිපති කාර්යාලය සහ අගමැති කාර්යාලය අවටත් ඒවා සැරිසරන්න ඉඩක් ලැබිල තියෙන්නේ කාගේ අවසරය යටතේද කියන ප්‍රශ්නය පැන නගිනවා," යනුවෙන්ද නීතිඥ උපුල් ජයසූරීය පැවසීය.

එම යතුරු පැදිවල අංක තහඩු ව්‍යාජ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ද පිළිගත්තේය.

පොලිස් ඝාතන

කිසියම් වරදකට සැරසෙන පුද්ගලයෙක් එවැනි අංක භාවිත කිරීමේ හැකියාවක් පවතින බව පවසන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, ඒ පිළිබඳව පොලිසිය විමසිල්ලෙන් සිටින බවද සංදේශයට කියා සිටියේය.

පොලිසිය කිසියම් ආරක්ෂක ක්‍රියාදාමයක් දියත් කොට ඇති නමුත් එය ප්‍රමාණවත් නොවන බවයි, නීතිඥ සංගමයේ සභාපතිවරයා පවසන්නේ.

පොලිස් අත් අඩංගුවේදී සිදු වන මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ නොපැවැත්වීම, පොලිස් නිලධාරෙන්ගේ සාවද්‍ය මනුෂ්‍ය ඝාතන, ඉහල අධිකරණවලට විනිසුරන් පත් කිරීමේදී ජ්‍යෙෂ්ඨත්වය නොසලකා කටයුතු කිරීම සහ අල්ලස් කොමසාරිස් දෙපාර්තමේන්තුවට එල්ල වන දේශපාලන බලපෑම් වැනි කරුණු සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ හඬ නැගීම හේතුවෙන් සිය ජීවිතයට තර්ජන එල්ල වී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

නීතිඥ සංගමයේ සභාපතිවරයා විසින් කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබෙන බව පොලිසිය පවසයි.