සමගිය වර්ධනය කරන බ්‍රිතාන්‍ය ක්‍රිකට් සැණකෙළිය

20 ජූලි 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 17:11 GMT

බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අතර ඉතා ජනප්‍රිය උත්සවයක් ශ්‍රී ලංකා පාසල් ආදී ශිෂ්‍යයන්ගේ ක්‍රිකට් ක්‍රීඩා උළෙල.

එය මෙවර පැවැත්වෙන්නේ විසි හය වැනි වතාවට.

ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයේ සහ කන්ද උඩරට පාසල් අතර ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩා උළෙලට මෙවර යාපනයේ සහ මඩකලපුවේ පාසල් වල ආදි ශිෂ්‍ය ක්‍රිකට් කණ්ඩායම් ද සහභාගී වීම විශේෂයක් බවයි සංවිධායක කමිටුවේ සාමාජික කසුන් වඩුගේ පවසන්නේ.

"බ්‍රිතාන්‍යයේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් අතර සමගිය වර්ධනය කිරීම උළෙලේ ප්‍රධාන අරමුණක්," යැයි කසුන් වඩුගේ කියා සිටියේය.

වෙන්නප්පුව ජෝසප් වාස් විදුහල මෙවර ක්‍රීඩා උළෙලේ කුසලානය දිනා ගත් බවයි, ලන්ඩනයේ මර්චන්ටේලර් ක්‍රීඩාංගනයේ සිට බීබීසී සංදේශයට ක්‍රීඩා උළෙල වාර්තා කළ සිතුම් ප්‍රනාන්දු පවසන්නේ.

පාසල් විසි අටක සහභාගිත්වයෙන් පැවැත්වුණු ක්‍රීඩා උළෙලේ අනු ශූරතාවය මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයට හිමි විය.