'ජනාධිපති විශ්වාස කරන්න බැහැ'- විග්නේශ්වරන්

  • 19 ජූලි 2014

ජනාධිපතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය ඇතුළු ආණ්ඩුවේ උසස් නිලධාරීන් උතුරු පළාත් සභාවට සහ එහි ජනතාවට සියලු පහසුකම් සලසා දෙන බවට ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළත් ඔවුන් සිදු කරන්නේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව රැවටීමක් පමණක් යයි උතුරු පළාත් සභාවේ මහ ඇමැති සී.වී.විග්නේශ්වරන් කියා සිටියි.

මහ ඇමතිවරයා එම ප්‍රකාශය කළේ යාපනයේ චාවකච්චේරි නගර සභාවට වසර පණහක් පිරීම නිමිත්තෙන් අද දහනව වෙනි දින (19) එහි පැවති මහජන රැස්වීමක් අමතමින්.

විශාල ජනකායක් සහභාගි වූ එම රැස්වීම ඇමතූ උතුරු පළාත් සභාවේ මහ ඇමැති සී.වී.විග්නේශ්වරන්, ආණ්ඩුවේ ක්‍රියා කලාපය නිසා ජනාධිපතිවරයා විශ්වාස කළ නොහැකි පුද්ගලයෙකුගේ තත්වයට බවට පත් වී ඇති බවයි කියා සිටියේ.

හමුදා පාලනය

උතුරු පළාත් සභාව නිසි ලෙස පවත්වා ගෙන යාමට නොහැකි ප්‍රධාන බාධක දෙකක් වී ඇති ආණඩුකාරයා සහ පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරිය මාරු කරන මෙන් ඉල්ලා සිටි අවස්ථාවේ දී එය ඉටු කරන බවට තමන්ට පොරොන්දු වූ ජනාධිපතිවරයා එම පොරොන්දුව ඉටු නොකළ බවයි මහ ඇමතිවරයා ජනතාවට පෙන්වා දුන්නේ.

තමා ඉහත කී ඉල්ලීම සිදු කළ දිනට පසු දින පටන් ආණ්ඩුකාරවරයා යොදා ගනිමින් උතුරේ හමුදාමය පාලනයක් ගෙන යාමට උත්සාහ කරන අතරවාරයේ පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරිය යොදා ගනිමින් රජයට අවශ්‍ය දේ පමණක් උතුරු පළාත තුළ සිදු කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින්නේ මහජන බලාපොරොත්තු සුන් කරමින් වන බවයි මහ ඇමැති සී.වී.විග්නේශ්වරන් අවධාරණයෙන් කියා සිටියේ.